ඩයනා ලංකාවට ආවේ මෙහෙමයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පාර්ශවකරුවන්ට දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක්ද නිකුත් කළේය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කරුණු සලකාබැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයකදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

ඊට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය.

“ස්වාමීනි…එම විමර්ශනයට අදාළව ආගමන සහ විගමන පාලකවරයා ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා ඩයනා ගමගේ මහත්මිය 2014 වසරේ අගෝස්තු මස 27 වනදා සිට 2015 වසරේ ජුලි මස 16 වන දා දක්වා වූ කාල සීමාව සඳහා “වාස වීසා” ලබාගෙන බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව. ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති නිසයි ඇය මේ ආකාරයෙන් වීසා බලපත්‍ර ලබාගෙන මෙරටට පැමිණ ඇත්තේ.” යනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා සඳහන් කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා,
“ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයට අනුව ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව අඟවමින් මෙරට උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි සඳහන් කර තිබෙනවා. ඉන් පෙනී යන්නේ ඇයට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති බව. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අසුන්ගැනීම සඳහා තිබිය යුතු සුදුසුකම් විග්‍රහ කර තිබෙනවා. ඒ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත්වූ ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි තැනැත්තියක් නොවෙයි. ඒ නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 89, 90 සහ 91 වගන්ති විග්‍රහ කිරීමේ දී පෙනී යනවා,” යනුවෙනි.

අනතුරුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වශයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ “බී” වාර්තාව මගින් කරුණු අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.