ස්නයිපර් වර්ගයේ අවියක් නිපදවූ තරුණයෙක් අත්අඩංගුවට

හමුදා ස්නයිපර් වෙඩික්කරුවන් භාවිත කරන අවියකට සමාන නවීන පන්නයේ ගිනිඅවියක් නිපදවූ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබූ සොයාගෙන ඇති ගිනිඅවිය අඩි 04ක් පමණ දිගකින් යුක්ත ය.

වාද්දුව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයෙකු බවය.

සැකකරු වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකු බවත් කලක් මත්කුඩු පානයට ඇබ්බැහිවී සිට පුනරුත්ථාපනය වී පැමිණ සිටි පුද්ගලයෙකි.

ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදුයකඩ කොටස්, ස්ප්‍රීන්, යකඩ සහ ඇලුමිනියම් බට මෙම අවිය නිපදවීම සඳහා උපයෝගී කරගෙන ඇත.

ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා එම අවියට දුර දක්නයක්ද සවිකර තිබූ බව පොලීසිය පවසයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, අන්තර්ජාලයේ ගිනිඅවි නිෂ්පාදනය කරන දර්ශන නරඹමින් මෙම අවිය නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවය.

මෙම අවියට කුඩා යකඩ බෝල යොදාගෙන බළලුන් සහ කුරුල්ලන්ට වෙඩිතබා ඇති බවත්, වෙඩි ප්‍රහාරවලට ලක්වූ සතුන් එම ස්ථානවලම ඇදවැටී මරණයට පත්වී ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත.

එම ගිනිඅවිය තවදුරටත් නවීකරණය කිරීම සඳහා කොටස්වලට වෙන්කර තිබියදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.