10න් සාමාන්‍ය පෙළ ලියූ චිත්මාල්ට A 9ක්

10 වසරේ අධ්‍යාපනය ලබමින් සිට පාසලෙන් ඉවත් වූ සිසුවෙකු 2021 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ 9ක් ලබාගෙන විශිෂ්ට අන්දමින් සමත් වූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

හැටන් විල්ෆ්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි උජිත චිත්මාල් ඉරංජින් සිසුවා මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වා ඇත.

මෙම සිසුවාගේ මව්පියන් ගුරුවරුන් වන අතර ඔහු වසර 08කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරටට පැමිණ ඇත.

ඒ අනුව 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙම සිසුවා 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී පාසලෙන් ඉවත් වී තිබේ.

අනතුරුව ඔහු පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ උජිත චිත්මාල් ඉරංජින් සිසුවා,

“මගේ තාත්තා ගණිත ගුරුවරයෙක්, අම්මා හැටන් ගේබ්‍රියල් පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක්, මට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. අක්කා 2023 වසරේ උසස්පෙළ පෙනී සිටින්න සූදානම් වෙනවා, මම දෙමව්පියන්ට කිව්වා නියමිත කාලයට ප්‍රථම සමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින්න ඕනි කියලා. රජයේ පාසලක අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට අධ්‍යාපනය ලබමින් සිටියදී පෞද්ගලිකව විභාග අපෙක්ෂකයෙකු ලෙස පෙනී සිටින්න බැරි නිසා මම පාසලෙන් ඉවත්වෙලා සාමාන්‍යපෙළ විභාගයේ සියළුම විෂය නිර්දේශයන් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා විභාගයට පෙනී සිටියා. ඒ සඳහා මගේ ගුරුවරුන්ගෙනුත්, මගේ දෙමව්පියන්ගෙන් සහ සහෝදරියන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මගේ කැපවීම, උනන්දුව, අධිෂ්ඨානය තිබුණ නිසා මගේ තාත්තයි අම්මයි මට උපරිම සහයෝගය ලබා දුන්නා.”

“ඒ අනුව තමයි මම පාසල් සිසුවෙක් වශයෙන් 2022 වසරේ සමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීමට ප්‍රථම 2021 වසරේ පෞද්ගලිකවම විභාගයට පෙනී ඉඳලා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගත්තේ. කැපවීමයි, උනන්දුවයි, අධිෂ්ඨානයයි තියෙනවානම් ඕන කෙනෙකුට මේ වගේ කරන්න පුළුවන්.
2023 වසරේ මම උසස්පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටින්න සූදානම් වෙනවා. මගේ බලාපොරොත්තුව අනාගතයේ වෛද්‍යවරයෙක් වෙන එක.”

Leave a Reply

Your email address will not be published.