අඟුලාන පොලීසියේ රාජකාරියට බාධා කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව කාන්තාවන් තිදෙනා හැර සෙසු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
අඟුලාන පොලීසියේ කොස්තාපල්වරයෙකුට පහරදී පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්වරයාට පහරදුන් පුද්ගලයා ද ඒ අතර සිටින බව පොලීසිය පැවසීය.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවෙයි.
සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගේ ඥාතීන් යැයි කියා ගන්නා පිරිසක් අඟුලාන පොලීසියට කඩාවැදීමත් සමග පොලීසිය තුළ එම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණි.
ඒ අනුව එම ඥාතීන් පිරිස සැකකරුවන් දෙදෙනා ද රැගෙන පළාගොස් තිබූ බව වාර්තා විය.
කෙසේවෙතත් එලෙස රැගෙන යනු ලැබූ සැකකරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ “ජොන්ටියා” සහ “කලයා” නමැති පුද්ගලයින් දෙදෙනෙකි.