ලංවිම පරිගණකයට රිංගා කෝටි 10ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

  • සැකකරු හිටපු හමුදා සෙබළෙක්
  • විදුලි බිල් ගෙවද්දී 25%ක වට්ටමකුත් දීලා
  • ඉදිරි දින දෙක ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට

මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් සිය වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සපයා ඇති අන්තර්ජාල ගෙවීම් දොරටුව හැක් කර රුපියල් කෝටි 10කට අධික මුදල් වංචාවක නිරත වූ යුද හමුදාවේ හිටපු සෙබළකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (27) සවස කොළඹට නුදුරු ප්‍රදේශයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය ඊයේ (28) නියෝග කළාය.

සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මංජු ශ්‍රී මහතා සඳහන් කරනු ලැබුවේ සැකකරු යුද හමුදාවෙ සිටි අයකු බවත් මෙවැනි දෙයක් සිදු කිරීමට ඔහුට දැනුමක් නොමැති බවය.

මෙම සිද්ධිය පිටුපස සිටින සැකකරුවන් අත්අඩංගුවට නොගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකරුණේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සැකකරු ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් කඩා වැදී සිදුකළ මෙම ක්‍රියාව නිසා විදුලිබල මණ්ඩලයට කිසිඳු මූල්‍යමය පාඩුවක් සිදුව නොමැති බවත් අවිශ්වාසනීය බාහිර පුද්ගලයන් හරහා විදුලිබිල් ගෙවූ විදුලි පාරිභෝගිකයන්ට මූල්‍යමය පාඩුවක් සහ ඔවුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කියා සිටියේය. විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර ගන්නා තුරු අන්තර්ජාලය හරහා සිදුකරන ගෙවීම් (Online Payments) තාවකාලිකව නවතා දමා ඇති බවත් ඉදිරි දින දෙක ඇතුළත විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කරගත හැකි වනු ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවල විශාල විදුලි බිල් තමා හරහා අන්තර්ජාලය ඔස්සේ ගෙවීමේදී සියයට 25ක වට්ටමක් ලබා දෙන බව සඳහන් කරමින් ව්‍යාපාරික ආයතනවලින් මුදල් ලබා ගන්නා මෙම පුද්ගලයා එම මුදල් සිය සාක්කුවේ දමාගෙන මෙම වංචාව කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ දත්ත පද්ධතිය තුළ එකී ගෙවීම් සිදු කර ඇති බව පෙන්වමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇත. මෙම වංචාව ඔහු විසින් සිදු කර ඇත්තේ පසුගිය සැත්තැම්බර් 18 වෙනිදාත් නොවැම්බර් 25 වෙනිදාත් අතර මාස තුනක පමණ කාලසීමාවක් තුළ දී බව ද හෙළි වී තිබේ.

විදුලිබල මණ්ඩලයට මාර්ගගත ක්‍රමයට ලද ගෙවීම් සටහන් සහ බැංකු වෙත බැර වූ මුදල් අතර, වෙනසක් විදුලිබල මණ්ඩලයේ ගිණුම් අංශයට පෙනී යාම හේතුවෙන් ඒ ගැන නොවැම්බර් 25 වෙනිදා කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ විදුලි පාරිභෝගිකයන් 400කට ආසන්න පිරිසක් මේ කාලය තුළ මාර්ගගත ක්‍රමයට කළ ගෙවීම් පද්ධතිය තුළ සටහන්ව ඇතත් එම ගෙවීම්වලට අදාළ මුදල් බැංකුවට බැර වී නොමැති බවය.

මේ ගැන විදුලිබල මණ්ඩලයේ තොරතුරු තාක්ෂණික අංශයේද පරීක්ෂාවට ලක්වී ඇත. විදුලිබල මණ්ඩල වෙබ් අඩවියේ ගෙවීම් අංශයේ දොරටුව හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව පෙනී ගොස් ඇත්තේ එවිටය.

මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට විදුලිබල මණ්ඩලයෙන් පැමිණිල්ලක් ලැබී ඇත්තේ පසුගිය නොවැම්බර් 28 වෙනිදාය. එහිදී විදුලිබල මණ්ඩලය විසින් ප්‍රශ්නගත ගෙවීම් සම්බන්ධයෙන් වූ 400ක් පමණ වූ ලැයිස්තුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. එහි රුපියල් කෝටි එකහමාරක ගෙවීමක්ද සටහන් වී තිබී ඇත. එම ගෙවීමට අදාළ විදුලි පාරිභෝගිකයා පොලොන්නරුවේ අ‍ෙයක් බව පෙනී ගොස් ඇත.

එම පාරිභෝගිකයා ඇතුළු ප්‍රශ්නගත ගෙවීම් සිදු කළ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් උපාය දූතයන් යොදා ගනිමින් එම පාරිභෝගිකයන් මුණගැසී කළ සියුම් විමර්ශනයකදී පෙනී ගොස් ඇත්තේ මාර්ගගත ක්‍රමයට සිය විදුලි බිල්පත් ගෙවීමේදී ඔවුන්ට සියයට 25ක වට්ටමක් ලැබී ඇති බවය. එම වට්ටම ලබා දී ඇති පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඔහු රාත්‍රී සමාජ ශාලාවල සහ කැසිනෝ ශාලාවල කරක් ගසන අවුරුදු 26ක් පමණ වන තරුණයකු බවය. ලුණුගම්වෙහෙරේ පදිංචිකරුවෙක් වන ඔහු ඒ වන විට කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු සොයා ගත්තේය.

ඒ අනුව පෙරේදා (27) සවස මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔහු යුද හමුදාවේද වසර 03ක පමණ කාලයක් සේවයේ නිරතව සිටි අයෙක් බවය. ඔහු හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්ව ඇති බව පවසන බවත් ඒ ගැන යුද හමුදාවට දැනුම් දී තොරතුරු සොයා බැලීමක් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපොස උසස් පෙළ කලා විෂයන් හදාරා ඇති මෙම සැකකරු අන්තර්ජාලය පරිශීලනය කරමින් වෙඩ් අඩවි හැක් කිරීමේ ශිල්පය හදාරා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඔහු එම දැනුම ලබා ගත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ගිණුම් කිහිපයකම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ පවසා තිබේ.

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ ගෙවීම් දොරටුවේ තාක්ෂණික දුර්වල ස්ථානයක් හඳුනාගෙන තමන් එම වෙබ් අඩවියට රිංගා මුදල් ගෙවීමකින් තොරව විදුලි බිල්පත් ගෙවීමට ඇති හැකියාව හඳුනාගත් බව ද ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත.

ඒ අනුව ඔහු සමාජ ශාලාවලදී දැන හඳුනා ගන්නා ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ විදුලි බිල්පත් මේ ක්‍රමය ඔස්සේ ගෙවමින් මෙම වංචාවේ නිරතව සිට ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

“ මේ පුද්ගලයා ඉලක්ක කරන්නේ ව්‍යාපාරිකයන්වයි. ඔහු දන්නවා ඒ අයගේ විදුලි බිල ලක්ෂයකට වැඩියි කියල. මුලින්ම ඔහු ඒ අය සමඟ සම්බන්ධකම් ඇති කර ගන්නවා. එම සම්බන්ධකම් එක්කම විශ්වාසයකුත් ගොඩනඟා ගන්නවා. මෙම පුද්ගලයා කියනවා කැසිනෝ ගසන්නට මෙරටට පැමිණෙන විදේශිකයෙක් ඉන්නවා, එයා තමාගේ මිතුරෙක් බව. එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක කැසිනෝ ගහන්න පාවිච්චි කරන්න බැරි නිසා රුපියල්වලින් එයාට සල්ලි දුන්නම එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒ මුදලට වැඩි ප්‍රමාණයකින් ඔන්ලයින් ගෙවීම් කරන්න අවස්ථාවක් ලැබෙනවා කියල. ඒ වැඩෙන් තමාට විශාල කොමිස් මුදලක් ලැබෙන බවත් ඔහු පවසනවා. ව්‍යාපාරිකයන්ට ඔහු හඟවනවා විදුලි බිල්පත් ගෙවීමේදී විදුලි බිලෙන් සියයට 25ක් අඩුවෙන් අය කරන්නේ තමාට ලැබෙන කොමිස් මුදලින් වාසියක් ලබා දෙමින් බව. මෙහිදී මේ පුද්ගලයා විදුලි බිල ගෙවන්න මුලින් සල්ලි ගන්නේ නැහැ. ව්‍යාපාරිකයා සමඟ යම් එකඟතාවකට ඇවිල්ල මුලින් ඔහු මුදල් ගෙවීම් කරනවා. ඒ අතේ සල්ලිවලින් හෝ ක්‍රෙඩිට් කාඩ්පතකින් නෙමෙයි. විදුලිබල මණ්ඩලයේ වෙබ් එකට රිංගලයි. ඊට පස්සේ ඔහු එම ව්‍යාපාරිකයාට පවසනවා අන්තර්ජාලයෙන් හෝ විදුලිබල මණ්ඩලයට ගොස් හෝ මුදල් ගෙවීම් බැර වී තිබේ දැයි පරීක්ෂා කර බලන ලෙස. ව්‍යාපාරිකයා විදුලිබල මණ්ඩලයෙන් කරන පරීක්ෂාවේදී තහවුරු වෙනවා ගෙවීම් සිදු කරල තියෙනවා කියල. ඒ සිස්ටම් එක අප්ඩේට් වෙලා තියෙන නිසා. ඊට පස්සේ තමයි ඔහු ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබා ගන්නේ. ඒ ගෙවූ මුදලින් සියයට 75ක් පමණයි.” යනුවෙන් මෙම වංචාව සිදු වන ආකාරය ගැන තොරතුරු විමර්ශන නිලධාරියෙක් අනාවරණය කරනු ලැබුවේ එසේය.

මෙසේ මෙම පුද්ගලයා විදුලි බිල්පත් 400කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් මාස තුනක කාලසීමාව තුළ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විදුලිබල මණ්ඩලයෙන් ලබා දී තිබුණු ලේඛනවලින් තහවුරු වී ඇත. මෙම වංචාව හෙළි වූ මොහො‍ෙත්ම නව ආරක්ෂක ක්‍රම මඟින් විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික අංශය ගෙවීම් දොරටුවේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ.

විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම පුද්ගලයා මෙසේ විදුලි බිල්පත් ගෙවීම ව්‍යාපාරයක් කර ගනිමින් නියෝජිතයන්ද සමාජ මාධ්‍ය ඔස්සේ රටපුරා පත්කර ගනිමින් සිට ඇති බවය. එහිදී ඔහු නියෝජිතයන් කිහිප දෙනෙක්ද පත්කර තිබී ඇති අතර, ඒ අයට එක් බිල්පතක් සඳහා සියයට 10 බැගින් වූ කොමිස් මුදල්ද ලබා දී ඇති බවය.

මෙම පුද්ගලයා විසින් වැඩිපුරම ගෙවීම් කර ඇත්තේ ලක්ෂ 10 හා 15 ප්‍රමාණයේ බිල්පත් බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම පුද්ගලයා මෙසේ වංචා සහගතව උපයා ගන්නා මුදල්වලින් සුළු ප්‍රමාණයක් කැසිනෝවලටද වැය කර තිබෙන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. වැය නොකර තවත් විශාල මුදලක් ඔහු සතුව ඇති බව පෙනී යන බැවින් එම මුදල් සොයා ගැනීමටත් ඔහුට මෙම වංචාවට සහාය දුන් පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටත් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ උපදෙසින් සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජයනෙත්සිරි මහතාගේ අධීක්ෂණයෙන් සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන රංග බණ්ඩාර, චාරුක පැතුම් ජයවර්ධන, නිලාන් සමරසිංහ, එච්. අසංක, එම්. විජේසුන්දර සහ ලහිරු සඳකැළුම් යන මහත්වරු විමර්ශන කටයුතුවලට සම්බන්ධව සිටියහ.

Leave a Reply

Your email address will not be published.