තවත් අමානුෂික ඝාතන දෙකක්

මිරිහාන පොලිස් වසමේ ගංගොඩවිල සහ තිනියාවල මහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් හා තරුණයෙක් අමානුෂික ලෙස ඝාතනයට ලක්ව තිබේ.

තිනියාවල මහවත්ත ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිද ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, පසුගිය මස 30 වන දින අනියම් සම්බන්ධතාවක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහරදීමක් සිදුකර ඇති අතර අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා හිනිදුම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ඇයගේ මවගේ නිවසට ගොස් ඇති බවය.

අනතුරුව ඊයේ රාත්‍රී සැමියා මහවත්ත ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ මවගේ නිවසට ගොස් නිවැසියන් බිය ගන්වා පළවා හැර තියුණු ආයුධයකින් බිරිඳගේ ගෙල කපා මෙම ඝාතනය සිදුකර තිබේ.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි හිනිදුම හිංගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ඇයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.

ඝාතනය සිදුකළ 36 හැවිරිදි සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර තිනියාවල පොලීසිය විමර්ශන සිදුකරයි.

මේ අතර, ගංගොඩවිල ප්‍රදේශයේ පිහිටි ගරාජයක් තුළ මොට ආයුධයකින් පහර දී තරුණයෙක්ව ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජනවාරි 1 වනදා රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී බහින් බස්වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු මොට ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇත.

මියගිය පුද්ගලයා හා පහරදුන් පුද්ගලයා එම ගරාජයේ සේවකයින් බවත් ඔවුන් ගරාජයේ නැවතී වැඩකරන අය බවත් අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් 65 හැවිරිදි දෙණියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.