සල්ලි අච්චු ගැසීම නවතී

ප්‍රතිපත්තියක් ලෙස මේ වනවිට මුදල් අච්චු ගැසීම නවතා ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ අවස්ථාවේ දී ණය ලබාගන්න බැහැ. මක්නිසා ද යත් අපි විදේශ ණය ගෙවන්න නොහැකි බවත් ඒ ණය නැවත සකස් කරලා දෙන ලෙසත් ලෝකයට බොහෝම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ණය ගන්න බැහැ. සල්ලි අච්චු ගහන්න බෑ. අච්චු ගහන්න ගියොත් ඉදිරියට ණය ගන්න බැරි වෙනවා. නොකරන ගෙවීමක් සඳහා තමා දැනට මුදල් අච්චු ගැසීම රජය ප්‍රතිපත්තියක් ලෙස නවතා තිබෙනවා. එනිසා එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලීමක් කළා දෙසැම්බර් මාසයේ කොහොමද වියදම් දැරුවේ කියලා සංඛ්‍යා දත්ත දෙන්න කියලා. ඒ අනුව ලංකාවට බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන්නේ බිලියන 141ක්. එයින් වැටුප් ගෙවන්න වියදම් කරලා තියෙනවා බිලියන 88ක්. විශ්‍රාම වැටුප් සහ සමෘද්ධිලාභින්ට ගෙවන්න බිලියන 30ක්. පොහොර ලබාගැනීමට බිලියන 6.5යි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බෙහෙත් සඳහා බිලියන 8.7යි. වෙනත් එදිනෙදා ගමන් වියදම් වැනි පරිපාලන වියදම් බිලියන 154යි. ඉතින් 141කින් 154ක් දරන්නේ කෙසේ ද? විකල්ප ක්‍රමයක් සොයා ගන්න බෑ. කළමනාකරණය කිරීම කරන්න බැරි තත්ත්වයට පත්වෙලා.”

Leave a Reply

Your email address will not be published.