නානුඔය අනතුරේ බස් රියදුරා අත්අඩංගුවට ගැනීමට පියවර

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මියගිගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් දරුවන් තිදෙනෙකු ඇතුළු එකම පවුලේ පස් දෙනෙක්, වෑන් රථයේ රියදුරු සහ ත්‍රීරෝද රථ රියදුරුය.

අධික වේගයෙන් පැමිණි බස්රථය ප්‍රපාතයකට ගොස් නැවතී තිබූ අතර එහි සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ 7ක් ඊයේ නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතවී නැවත කොළඹ බලා පැමිණීමට ගමන් අරඹා තිබුණි.

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ මෙම බස් රථ 7 අධික වේගයෙන් ධාවනය වී ඇති අතර එහිදී එක් බස් රථයක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අධික වේගය නිසා බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් පසුව පාසල් සිසුන් රැගත් බස් රථය අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණි.

වෑන් රථයේ ගමන් කළ 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇත.

වෑන් රථයේ සිටි 6 දෙනා අතුරින් 5 දෙනෙකුම එකම පවුලේ සාමාජිකයින් වන අතර ඔවුන් රෝගියෙකු බැලීම සඳහා යමින් සිට ඇති බව වාර්තා විය.

ඔවුන් නානුඔය දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මියගිය අය අතර වයස අවුරුදු 8 සහ 12 වයස්වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ අවුරුදු 19 ක පිරිමි ළමයෙකු ද සිටි.

මියගිය අනෙක් අය අතර පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවක් සිටින බව පොලීසිය සඳහන් කළේය.

ඒ අතර වෑන් රථයේ රියදුරු සහ ත්‍රීරෝථ රථයේ රියදුරු ද සිටි.

වෑන් රථයේ රියදුරු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි තෙල්වරාජ් පිල්ලේ නමැති තරුණයෙකි.

ත්‍රීරෝද රථයේ රියදුරු නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.

මිය ගිය එකම පවුලේ 5දෙනා මුස්ලිම් ජාතිකයින් වන අතර ඔවුන්ගේ මියයාම වෙනුවෙන් ශෝකය පළ කිරීමට නුවරඑළිය නගරයේ වෙළෙඳසැල්වල සුදු කොඩි දමා තිබුණි.

අනතුරින් බස් රථයේ පාසල් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුවී නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේය.

තුවාල ලැබූවන් අතර ගුරුවරුන් දෙදෙනෙක් සහ මව්පියන් 05දෙනෙකු සිටින අතර ඒ අතරින් එක් අයෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

එසේම බස් රථයේ රියදුරු සහ සහයකයා ද සුළු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව නානුඔය පොලීසිය සඳහන් කළේය.

මේ අතර, අනතුරට ලක්වූ සිසුන්ට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ රාත්‍රියේම අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව, සුළු තුවාල ලැබූ සිසුන් සියලුදෙනා අද (21) ගුවන් මගින් කොළඹට රැගෙන ආවේය.

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය බර වාහන ධාවනයට අවසර නොමැති පසුබිමක කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරීමෙන් අනතුරුව නැවතත් බරවාහන රියදුරන් විසින් එහි ගමන් කිරීම ආරම්භ කර තිබුණි.

මෙම අනතුර සිදුවී ඇත්තේද එවැනි පසුබිමකය.

කෙසේවෙතත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා අද සඳහන් කළේ යළි එම මාර්ගයේ බරවාහන ධාවනය තහනම් කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,

“මෙම අනතුර සම්බන්ධයෙන් බැලූ බැල්මට බස් රථ රියදුරාගේ නොසැලකිලිමත්කමක් නිරීක්ෂණය වුණා. නමුත් කාර්මික දෝෂයක්ද නැත්නම් වෙනත් දෝෂයක් නිසා සිදුවූ දෙයක් ද යන්න පැහැදිලිව නිගමනය කරලා නැහැ තවමත්.”

Leave a Reply

Your email address will not be published.