විදුලි ගාස්තු වැඩිකිරීම ගැන නීතිපතිගේ මතය විමසයි

විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම ජාතික සභාව හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔවුන් දැනුම්දුන්නේ අද (25) ඊට අදාළ ලේඛන නීතිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තු වන බවය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කෙරුණේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්, ජාතික සභාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. 

ඒ අනුව විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනමින් අනුමැතිය ලබාදීමට සහ අතීතයට බලපාන ආකාරයෙන් විදුලි ගාස්තු වැඩිකිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවට හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසීමට නියමිතය.

මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, මේ ආකාරයෙන් අතීතයට බලපාන ලෙස 2014 වසරේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කොට ඇති බවය. 

ඒ පිළිබඳ තමන් සතු ලිපි ලේඛන අවශ්‍ය නම් කොමිෂන් සභාවට ලබාදිය හැකි බවද හෙතෙම පැවසීය.

එසේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් හැකි ඉක්මණින් ලබාගැනීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය. 

ලංකා විදුලිබල ම්ණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්වී ඇති බව, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.