කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භවිය.

එහි පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම දිනාගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 129 ක් රැස්කළේය.

පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28 කි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස හර්ෂිතා සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියේය.

අනතුරුව නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ පන්දු 62 කිනි.

විශ්මි පන්දු 34 කින් ලකුණු 35 ක් ලබා සිටියදී දැවී යාමත් සමග එම සබඳතාවය බිඳ වැටුණි.

චමරි පන්දු 50 කින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 68 කි.

හතරේ පහර 12 කින් ඇයගේ ඉනිම වර්ණවත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

නායිකා Sune Luus ලකුණු 28 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරතවූවාය. 

Laura Wolvaardt ලකුණු 18 ක් ද, Sinalo Jafta ලකුණු 15 ක් ද රැස්කළෝය.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සුගන්දිකා කුමාරි හා ඕෂදී රණසිංහ කඩුලු 2 බැගින් දවාත්තේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත ගෙන යමිනි.

තරගයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ නායිකා චමරි අතපත්තුය.

Leave a Reply

Your email address will not be published.