ATM කැඩූ තවත් අයෙක් අත්අඩංගුවට

ATM යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයෙකු රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කපා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් පසුගියදා කොල්ලකා තිබුණි.

ඉකුත් 02 වනදා කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල, ගැට්ටුවාන හන්දියේ සවිකර තිබූ ATM යන්ත්‍රය එලෙස සැකකරු විසින් කොල්ලකා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කුරුණෑගල පොලීසිය එප්පාවල ප්‍රදේශයේ පදිංචි විදූෂ ඉදුනිල් නමැති 33 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරු අදාළ කොල්ලයෙන් පසු බිංගිරිය ඌරතැන්න ප්‍රදේශයේ සැඟව සිටි බවය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව කොල්ලකන ලද මුදල්වලින් 45 ලක්ෂ 62,000ක් තිබී ඇත.

කොල්ලකන ලද මුදල්වලින් සැකකරු රුපියල් 650,000ක් වටිනා රන් අත්පළඳනාවක් සහ රන් මාලයක්, රුපියල් 550,000ක් වටිනා යතුරුපැදියක්, රුපියල් 370,000ක් වටිනා අයි ෆෝන් එකක් මිලදී ගෙන ඇත.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මීට පෙර ද සැකකරු මින්නේරිය යුද හමුදා කඳවුර ඉදිරිපිට ඇති ATM යන්ත්‍රය කඩා මුදල් කොරකම් කර ඇති බවය.

බිංගිරිය පොලිස් වසමේ ATM යන්ත්‍රයද, අනුරාධපුර පොලිස් වසමේ තවත් ATM යන්ත්‍ර 02ක් ද කඩා මුදල් සොරාගැනීමට උත්සාහ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.