කළුතර ජනතාව බිය වැද්දූ කොල්ලකරුවන් අල්ලයි

රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) කළුතර පොලිස් වසමේ සුමංගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇත.

එහිදී යතුරුපැදියක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 10ක් වටිනා රන්මාල 5ක් කොල්ලකන ලද වරෙන්තු 11ක් නිකුත් වී ඇති සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පයාගල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ක් හා 32ක් වන උණවටුන හා කළුතර උතුර ප්‍රදේශවල පදිංචි “ගාල්ලේ හොනට් සුද්දා” නොහොත් සලිත් හර්ෂණ සහ ඔහුගේ ගෝලයෙක් බවට හඳුනාගෙන ඇත.

හොනට් සුද්දාට පොලීසියෙන් මිදී පළායෑමේ විශේෂ හැකියාවක් ඇති අයෙක් බවත් රන්මාල කොල්ලකෑම් සිදුකර එසැනින් ගමන් කරන යතුරුපැදියේ පිටුපස අසුනට පැනීමේ සුවිශේෂී හැකියාවක් ඔහු සතු බවත් පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් පයාගල, මොරොන්තුඩුව, අගලවත්ත, බදුරලිය හා මිද්දෙණිය පොලිස් වසම්වල සිදුකරන ලද රන්මාල කොල්ලකෑම්වලට අදාළ ග්‍රෑම් 31 මිලිග්‍රෑම් 190ක් බර රන් භාණ්ඩ හා අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් සොයාගෙන ඇත.

එම සැකකරුවන් රන් භාණ්ඩ කොල්ලකෑම් හා යතුරුපැදි සොරකම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩු සඳහා මාතර, ගාල්ල, අවිස්සාවේල්ල, මතුගම, කළුතර, කලවාන, වැල්ලවාය, වලස්මුල්ල, දෙයියන්දර යන අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා පයාගල ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල බැදි රන්මාලය කඩාගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published.