අත්අඩංගුවට ගත් සිසුන් ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ඊයේ දිනයේ බලහත්කාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩනැගිල්ලට ඇතුළුවීමේ චෝදනාවට පොලීසිය විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ කිසිදු පහරදීමක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

එසේම අදාළ සිසුන් විසින් එම පරිශ්‍රයට අලාභහානි සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

“ඊයේ සවස බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බස් රථයකින් පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි ශිෂ්‍යයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා. අනතුරුව එහි පරිශ්‍රයක් තෝරාගෙන ඔවුන් යම්කිසි ආකාරයක විරෝධතාවයක නිරතවනවා. මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට තොරතුරු ලැබුණු විගසම පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙලා මෙම ස්ථානයට ගිහිල්ලා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ වනවිට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම ගිහි සිසුන් 14 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මෙම සිසුන් සියලුදෙනාම අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනු ලබනවා. ඉන් පසුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා. ඔවුන් විශේෂයෙන්ම මෙම ස්ථානයට ගිහිල්ලා යම් යම් අලාභහානි වෙලා තියෙනවා. පොදු දේපළ පනත යට‍තේ ඔවුන් යම්කිසි වරදක් කරලා තියෙනවා. අනර්ථයක් සිදුකරලා තියෙනවා ඒ දේපළවලට හානි කිරීමෙන්. ඒ වගේම අවසරයකින් තොරව අයුතු ලෙස මෙම ගොඩනැගිල්ලට ඇතුළුවෙලා තියෙනවා. ඒ වගේම එහි රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට බාධා කරලා තියෙනවා. අඩත්තේට්ටම් කරලා තියෙනවා. ඉතින් මේ සියලු චෝදනා ඇතුව ඔවුන් මේ වගේ කණ්ඩායමක් ලෙස මේ ආකාරයෙන් හැසිරීමෙන් අයුතු ජන රාශියක සාමාජිකයින් වෙලා තියෙනවා. මේ චෝදනා සියල්ල එක්ක ඔවුන්ව තලංගම පොලිස් ස්ථානය මගින් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා.”

“ශිෂ්‍යන්ට පහරදීමට පොලිස් නිලධාරීන්ට අවශ්‍යතාවයක් නෑ. පොලිස් නිලධාරීන් විසින් ඒ ආකාරයෙන් පහරදීමක් කළ බව මට මෙතෙක් වාර්තාවීමක් වෙලා නෑ. ඒ වගේම ඔවුන් අද දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කරනවා. එහිදී යම්කිසි ආකාරයක පහරදීමක් වෙලා තියෙනවා නම් ඔවුන්ට ඒ ගැන අදහස් ඉදිරිපත් කිරීම අවස්ථාව තියෙනවා. ඒ වගේම අධිකරණයට ඉදිරිපත් කිරීමේදීත් ඔවුන්ට ඒ ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. මම මේ පිළිබඳ විමසීමකුත් කළා. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන්  ඔහු සම්පූර්ණයෙන් ම එය ප්‍රතික්ෂේප කළා. නමුත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් යම්කිසි චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒකට අවස්ථාව තියෙනවා.”

Leave a Reply

Your email address will not be published.