මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය නිලධාරීන්ව කල්ලියක් කොල්ලකෑමට තැත් කරයි

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කොල්ලකෑමට සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් පැමිණ තිබේ.

කිදෙල්පිටිය බදුවිල මාර්ගයේදී සිදුවීමට ගිය මෙම කොල්ලය අහසට වෙඩිතබා කොල්ලකරුවන් මෙල්ලකර එයින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු සිවිල් ආරක්ෂක සෙබළෙක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු පැමිණි බව කියන යතුරුපැදියක් සහ සැකකරු සන්තකයේ තිබූ මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 35කට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයන බවට ගාල්ල බූස්ස  හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැටලීමකට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

එම තොරතුරු ලබාදුන් බුද්ධි නිලධාරීන් මෝටර් රථයකින් පැමිණ ඇති අතර වැටලීම සඳහා පැමිණි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් වෑන් රථයකින් පැමිණ තිබුණි.

පසුව යතුරුපැදි දෙකකින් එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ එක් අයෙකු නිලධාරියෙක් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35 කොල්ලකෑමට තැත් කර ඇත.

ඒ සමගම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියකු රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩි තබා තිබේ.

පිරිස මෙල්ල කිරීමත් සමගම තිදෙනෙකු යතුරුපැදියක නැගී පළාගිය බව පොලීසිය සඳහන් කරයි. 

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර වැල්මිල්ල මෛත්‍රී මාවතේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයෙකි.

සැකකරු සමග පැමිණි අනෙක් පුද්ගලයන් ද හඳුනාගෙන ඇති බව පානදුර කොට්ඨාසයේ වැඩබලන  පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published.