මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව පෞද්ගලික බැංකුවල ගිණුම් අරඹන්න රාජ්‍ය ආයතනවලට අවසර

බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වැඩ වර්ජනය හේතුවෙන් බාධා පැමිණෙන්නේ නම් පෞද්ගලික වාණිජ බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අවසර දීමට ඊයේ (01) සවස රැස් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණු බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියට යටත්ව ඉහත ගිණුම් පෞද්ගලික වාණිජ බැංකුවල ආරම්භ කිරීමට ඉඩදිය යුතු බවටත් තීරණය කෙරුණු බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විණි.

වැඩ වර්ජන, උද්ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවලදී රාජ්‍ය බැංකු හරහා ගනුදෙනු කිරීමට නොහැකි වුවහොත් ණයවර ලිපි නිකුත් කිරීම ඇතුළු මූල්‍ය කටයුතු සියල්ලක්ම අඩාල වීමට ඇති අවදානම සම්බන්ධයෙන් ද විශේෂ කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වැඩවර්ජනය පවතින අවස්ථාවලදී රාජ්‍ය බැංකුවල කටයුතු අඩාල වී බෙහෙත් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ණයවර ලිපි විවෘත කිරීම කළ නොහැකි වන හෙයින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව දෙපාර්තමේන්තු, සංස්ථා, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවලට මේ ආකාරයට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පලවිනැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.