ඩොලරය – රුපියල නගී – බහී රහස කුමක්ද?

මාර්තු මස මුල් සතියේ සිට ඩොලරය සහ රුපියල අතර හුවමාරු අගයේ ඇති වූ වෙනස්කම් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. ලෝකයේ මෑත යුගයේ දී වැඩියෙන්ම අවප්‍රමාණය වූ මුදල් ඒකකයක් වූ ශ්‍රී ලංකා රුපියල මාර්තු පළමුවනදා සිට දින කිහිපයක් තුළ විශාල ලෙස අගය ඉහළ යෑමක් හෝ අධිප්‍රමාණය වීමක් සිදුවිය. පෙබරවාරි අගදී ඩොලරයක් හුවමාරු වූයේ රුපියල් 361කට පමණ වුව ද මාර්තු මුල සිට ක්‍රමයෙන් එම අනුපාතය අඩු වීමට පටන්ගෙන අද වන විට රුපියල් 300ත් 320ත් අතර මට්ටමක හුවමාරු වන බව නිරීක්ෂණය කළ හැකිය.

ඕනෑම මුදල් ඒකකයක අගය ඉහළ පහළ යෑම ඒ ඒ ආර්ථික තත්ත්වය අනුව සිදුවිය හැකිය. මේ වන විට අපේ විනිමය අනුපාතය තීරණය වීමට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් අත්දැකීමට හැකි වී තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මාර්තු මාසයේ 20 වැනිදා පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීමේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති ණය මුදල අනුමත වීමට නියමිතව තිබීමයි.

එම ආයතනය සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුම් අත්සන් කර සෑහෙන කලක් ගත වුව ද ඒ දක්වාම එම ණය මුදල පිළිබඳ නිශ්චිත තත්ත්වයක් ඇතිව තිබුණේ නැත. එහෙත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති සියලු‍ කොන්දේසි සම්පූර්ණ කිරීම සහ චීනය ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති සියලු‍ම ණය ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟ වීම යන කරුණු මත ණය ලබා ගැනීම අපේක්ෂිත පරිදි ඉටු කර ගැනීමට හැකි තත්ත්වයක් ඇති වී තිබේ. 

ඊළඟ කරුණ වන්නේ IMF ණය මුදල ලැබීමට පෙරම විවිධ ආයතන සහ රටවල් ශ්‍රී ලංකාවට ආර්ථික දුෂ්කරතා ජය ගැනීම සඳහා සහාය ලබා දීමට ඉදිරිපත්ව තිබීමය. ලෝක බැංකුවේ ආයෝජන අංශය ලෙස සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමරු පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දීමට දැනටමත් තීරණය කර තිබේ. ඒ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන ද ඉන්දියාව, ජපානය, චීනය සහ යුරෝපා සංගමයේ රටවල් ශ්‍රී ලංකාවට විශාල ප්‍රමාණයක ණය සහ ආධාර ලබා දීමට සූදානම්ව සිටී. 

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශයට පත් වූ යුගයේ සිට පවත්වාගෙන යනු ලබන විනිමය අනුපාත ක්‍රමයේ ක්ෂණික වෙනසක් ඇති වීමේ ඉඩකඩ පිළිබඳව ඒ දක්වා ඩොලර් රැස් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෝ සහ ඩොලර් හුවමාරු කටයුතුවල යෙදුණු ව්‍යාපාරික ආයතන හා විවිධ පුද්ගලයෝ අවබෝධ කරගත්හ.

ශ්‍රී ලංකාව බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස අවප්‍රමාණය විය. එනම් එහි අගය විශාල ලෙස අඩු විය. එය ඉදිරියේ දී තව දුරටත් අවප්‍රමාණය වනු ඇතැයි යන්න බොහෝ දෙනෙකුගේ අදහස විය. ඒ නිසාම අනාගතයේ ඩොලර්වලට වැඩිපුර මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ අය ඩොලර් රැස් කිරීමටත් ශ්‍රී ලංකාවේ බැංකුවලට එවීමෙන් වැළකීමටත් කටයුතු කළහ. අපනයනකරුවෝ භාණ්ඩ අපනයනය කර ලබාගත් ඩොලර් රුපියල්වලට පරිවර්තනය කිරීමෙන් වැළකී සිටියහ. පිටරටවල සිටින අය තවදුරටත් ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම අඩු වෙතැයි සිතා මෙරටට මුදල් එවීමෙන් වැළකී සිටියහ. කලු‍කඩකරුවෝ වැඩිපුර මුදල් ගෙවා ඩොලර් රැස් කර ඒවා අනාගතයේ දී වැඩි මිලකට විකිණීමේ බලාපොරොත්තුවෙන් රඳවා ගෙන සිටියහ.

උණ්ඩියල්කරුවෝද වැඩිපුර මුදල් ගෙවා ඩොලර් රැස් කරගෙන ඉදිරියේ දී අලෙවි කිරීමට  බලාපොරොත්තුවෙන් රඳවාගෙන සිටියහ. එහෙත් IMF ණය මුදල අනුමත වූ විට එතැනින් එහාට ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩක් නැති බව ඒ සියල්ලෝම දැනගෙන සිටියහ. හදිසියේම ඩොලරයේ මිල පහළ යෑමට හේතු වූයේ මෙයාකාරයට ඩොලර් රැස් කරගෙන සිටි බොහෝ දෙනකු ඒවා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතනවලට ඩොලර් විකිණීමට ඉදිරිපත් වීමය. 

පසුගිය කාලය තුළදී ඒ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබීම සඳහා ආධාර වූ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සහ විදේශ ප්‍රේෂණත් විශාල ලෙස අඩු වී තිබුණි. කෙසේ වුවද මේ වසර ආරම්භ වන විට එම අංශ දෙකේම කැපී පෙනෙන වෙනසක් ඇතිවී ඒ අංශවලින් ලැබෙන ආදායම ඉහළ ගියේය.

ඒ අනුව  IMF ණය තීරණය වීම, සංචාරක පැමිණීම වැඩි වීම, රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යෑම, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ හුවමාරු පහසුකම් ලැබීම ආදිය ඩොලරයේ අගය අඩු වීම සඳහා විශාල ලෙස හේතු විය. ඩොලර් රැස්කරගෙන සිටියවුන් අතර අනාගතයේ වැඩි මිලක් ලබාගැනීම පිළිබඳ බලාපොරොත්තු අවසන් වී එය රුපියල් කර ගැනීමට කාලය එළඹ ඇති බවත් ඉන් එහාට ඩොලර් තබා ගැනීමෙන් පාඩු ලැබීමට ඉඩ ඇති බවට අදහස් ඇති වීම නිසා රටට ඩොලර් ගලා එන්නට විය.

මෙය මෑත ඉතිහාසය තුළ රුපියලේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් දක්නට ලැබුණු විශේෂ තත්ත්වයක් බව ප්‍රකාශ කළ හැකිය. පසුගිය දා ප්‍රකාශයට පත් මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ පසුගිය වසර තුනක කාලය තුළ දී රුපියලේ අගය පහත වැටීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන පහක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ මූල්‍ය වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි. ඒ රුපියලේ අගය පහළ වැටීම වළක්වා ගැනීමටය. එහෙත් මෙවර එවැනි කිසිදු බලපෑමකින් තොරව සති දෙකක පමණ කාලයක් ඩොලරයේ අගය අඩු වී රුපිලේ අගය වැඩි වන්නට පටන් ගත්තේය.

සමහරු ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ඩොලර් මිලියන 400ක හුවමාරු පහසුකම් ලබා දීම නිසා රුපියලේ අගය වැඩි වී ඇති බවය. එහෙත් එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැත. එම සංස්ථාවෙන් ලබාදෙන බව ප්‍රකාශ කළ මුදල්වලින් එක ඩොලරයක් හෝ තවමත් ලැබී නැත. එවැනි තත්ත්වයක් තුළ එම මුදල් ලැබීම හේතුවෙන් රුපියලේ අගය වැඩි වී ඇතැයි ප්‍රකාශ කිරීම හැඳින්විය හැක්කේ අතාර්කික ප්‍රකාශයක් ලෙසය. 

රුපියලේ අගය වැඩි වීම අවසානයේ දී දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමට සමහර පිරිස් සූදානම් වූ බවක් පෙනී යයි. ඔවුන් රුපියල ශක්තිමත් වීම දුටුවේ රජයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ශක්තිමත් වීමක් ලෙසය. එනිසා වහාම විපක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය රුපියල අධිප්‍රමාණය වීම තමන්ට එල්ල වූ විශාල ප්‍රහාරයක් ලෙස සිතන්නටත් එනිසා එහි බලපෑම අවම මට්ටමකට ගෙන ඒම සඳහාත් තමන්ගේ අසත්‍ය නිර්මාණ සමාජ මාධ්‍ය අවකාශය වෙත මුදා හැරීමට යුහුසුලු‍ වූහ.

විපක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයේ ව්‍යාජ ගිණුම් හිමියන්ගේ නිර්මාණකරණය ඉතා ඉහළ මට්ටමක පවතී. ඒ අනුව රුපියල ශක්තිමත් වීම රජයේ මවාපෑමක් ලෙස පෙන්වීම සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් විය.  එක් විද්වතෙක් ප්‍රකාශ කර සිටියේ රජය විසින් ඩොලරයේ ඉල්ලු‍ම සීමා කර සැපයුම නිදහස් කිරීම නිසා රුපියලේ අගය වැඩි වී ඇති  බවය.

මෙවැනි අපභ්‍රංසයක් කවරෙකුට හෝ තේරුම් ගැනීමට හැකි වන්නේ දැයි නොදනිමි. සැපයුම නිදහස් කිරීම යනු ඕනෑ තරම් රටට මුදල් එවීමට ඉඩ සැලසීමය. රජය සෑම විටම සැපයුම නිදහස් කර තිබුණ ද රටට ඩොලර් එවන්නට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. රජය රටට ඩොලර් ඒම කිසි ලෙසකින් හෝ නවත්වා තිබුණේ නැත. රටට එවැනි ශක්තියක් තිබුණා නම් ඩොලර් සොයා ගන්නා තුරු වරායේ ගෑස්, තෙල් සහ ගල් අඟුරු නැව් නවතා තබා බලා සිටින්නේ නැත.

මේ අතර ඇතැම් දේශපාලන පක්ෂවල විවිධ පුද්ගලයන් ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව රුපියලේ අගය වැඩි වීම පිළිබඳ විවිධ විග්‍රහ ඉදිරිපත් කරන බව පෙනේ. එක් දේශපාලන පක්ෂයක නායකයෙකු ප්‍රකාශ කර සිටියේ ඩොලරයේ අගය අඩු වී ඇත්තේ ඩොලර් රටට ඒම නිසා නොව ආර්ථිකය හැකිළී තිබෙන නිසා බවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා කර තිබූ ප්‍රකාශය එයට කදිම පිළිතුරක්සේ සැලකිය හැකිය. ˝‘‘අපි විවිධ පහසුකම් ලබා දී ඩොලර් ළඟ තබාගෙන ඉන්න අයට ඩොලර් එවන ලෙස ඉල්ලා සිටියා. එහෙත් එව්වෙ නෑ. දැන් ඩොලරයේ අගය අඩු වීම නිසා ඔවුන්ට ඩොලර් එවන්න සිද්ද වෙලා. එක සතියක් තුළ අපි ඩොලර් මිලියන 500ක් මිලදී ගත්තා˝.’’ මහ බැංකුව ඩොලර් මිලියන 500ක් එක් සතියකින් මිලදී ගත්තේ ආර්ථිකය හැකිළීම නිසා නොව ඩොලර් රටට ගලා ඒම නිසාය.

රට සාමාන්‍ය තත්ත්වයක පවත්නා විට කිසිදු රජයක් ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට ඉදිරිපත් වන්නේ නැත. එහෙත් රට බංකොළොත් බවින් මුදා ආර්ථික සංවර්ධනය ගොඩනැගීමට දේශපාලනය පිළිබඳ නොසලකා ජනප්‍රිය නොවන තීරණවලට වුවද එළඹ කටයුතු කිරීමට සිදුවන බව රජයේ ස්ථාවරය වී ඇත. 

බංකො‍ළොත්ව ගිය රටක ඩොලරය පහළ ගොස් යහපත් කාලයක් උදාවීම පිළිබඳ අපේක්ෂා දැල්වෙද්දී වර්ජන ඉහළ යාම ඇතැම් දේශපාලන පක්ෂවල සහ වෘත්තිකයන්ගේ බංකොළොත්භාවය පිළිඹිබු කරයි.

Leave a Reply

Your email address will not be published.