මාමා ලේලියගේ රන් මාලය උස්සලා

මොනරාගල  බටුගම්මන බෝගහඅරාව ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

සැකකරු  දැරිය නිදාගෙන සිටියදී පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙනගොස් තිබිණි. සැකකරු තිස්එක් වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචි දැරියගේ මවගේ සහෝදරයෙකි.

කඩාගත් පෙන්ඩනය සහිත රන්මාලයේ වටිනාකම රුපියල් හැත්තෑනවදහස් තුන්සියයක් පමණ වේ. සැකකරු විසින් මිතුරෙකුගේ මාර්ගයෙන් රන්මාලය මොනරාගල නගරයේ පුද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබූ කුවිතාන්සියද පොලීසිය මඟින් සොයාගෙන ඇති අතර අධිකරණ නියෝගයක් මත එය ලබාගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතා ඇතුළු පිරිස සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.