ජීවිත පහක් අහිමි කළ ඩෙල්ෆ් ඛේදවචාකය ගැන තවත් තොරතුරු

යාපනය, ඩෙල්ෆ් දූපතේ සිදුවූ පස් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් එම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ අලුයම කපා කොටා ඝාතනය කර තිබුණි.

එම සාහසික අපරාධය සිදුව තිබුණේ යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළය.

නිවසේ සිටි සුනඛයෙකුටද එහිදී කැපුම් තුවාල සිදුකර තිබුණි.

ඝාතන සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලීසිය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ දිනයේම විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව එම ඝාතන සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රියේදීම අත්අඩංගුවට ගැණුනේ පුන්කුඩුතිව් ප්‍රදේශයේදීය

පොලිසිය පැවසුවේ 51 හැවිරිදි සභාරත්නම් රගූ නැමැති ඔහු සතුව තිබී රන් මාල 3ක් , වළලු ජෝඩු 2ක් , තනි වළල්ලක් , මුදු 8 ක් , පෙන්ඩන්ට් 1ක් , කරාඹු 2 ක්, ජංගම දුරකථන 2 ක් සහ සාරි සහිත ගමන්මල්ලක් සොයාගත් බවය.

ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු,රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑමේ අරමුණින් එම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“ජර්මනියේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයෙකු බවට තමයි තහවුරු නොවූ තොරතුරුවලින් කියන්නේ. ඒ වගේම ජර්මනියෙන් පිටුවහල් කළ බවටත් තහවුරු නොවූ තොරතුරු තියෙනවා. ඒ පිළිබඳවත් අපි තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මේ පුද්ගලයා ලංකාවට ඇවිල්ලා දැනට ස්ථිර පදිංචියක් නොමැතිව විශේෂයෙන්ම කයිට්ස් පුන්කුඩුතිව් වැනි දූපත්වල ඔහු සිටි බවට තමයි තොරතුරු තියෙන්නේ. ඒ වගේම එදින රාත්‍රියේ ඔහු මේ ගෙදර සිටි බවටත් දැනට තොරතුරු තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published.