මෙරට ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලාදුරු රෝගීන් 355 දෙනෙකු පමණ සොයාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

එමෙන්ම වාර්තා වූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද්  රණවීර මහතා පැවසුවේය.

“පසුගිය වසරට සාපේක්ෂව ලාදුරු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. මුල් මාස තුන ඇතුළේ අපට ලාදුරු රෝගීන් වාර්තා වුණේ 226ක් පමණයි. මේ අවුරුද්දේ මුල් මාස තුනේ අපිට ලාදුරු රෝගීන් 355ක් වාර්තා වුණා. එක තව විදිහට කිව්වොත් 57%ක පමණ ප්‍රමාණයක වැඩිවීමක්. ජනතාව කලබල විය යුතු නැහැ. ඔබ දන්නවා පසුගිව වසර තුන තුළ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක රෝගීන් හඳුනා ගැනීමේ යම් අඩුවක් වුණා. එතකොට අපිට හඳුනා නොගත් රෝගීන් හඳුනාගැනීම සඳහා යම් ඉලක්ක ගත වැඩපිළිවෙළක් යොදාගෙන යනවා. අන්න ඒ නිසා තමයි අපිට වැඩිපුර රෝගීන් හම්බෙන්නේ. හමුවුණ රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ, රෝගීන් 64ක් වාර්තා වුණා කොළඹ දිස්ත්‍රික්කයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 42ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක්, කළුතර 24ක්, ගාල්ල 24ක් ඊට අමතරව මේ හමුවුණ රෝගීන්ගෙන් 10%ක් පමණ ළමා ලාදුරු රෝගීන්. ඒ නිසා අපි මේ වසර තුළ හඳුනාගත්ත ප්‍රදේශ තුළ වැඩිපුර රෝගීන් වාර්තා වන ප්‍රදේශය අපි සිතියම් ගතකරලා තියෙනවා. ඒ ප්‍රදේශවල තමයි අපි ඉලක්ක ගත වැඩපිළිවෙළක් යොදාගෙන යන්නේ.” 

මේ අතර ජනතාවට ලාදුරු රෝගය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා වට්ස් ඇප් දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ද වෛද්‍ය ප්‍රසාද්  රණවීර මහතා සඳහන් කළේය.

“අපි ඊට අමතරව පටන් ගත්තා වට්ස්ඇප් සේවයක්. කාට හරි තමන්ගේ ඇගේ යම් ලපයක් තියෙනවානම් ඔවුන්ට පුළුවන් අපිට ඒ සම්බන්ධයෙන් යම් දැනුම්දීමක් කරන්න. ඒ ලපේ ඡායාරූපයක් පැහැදිලිව අරගෙන අපේ වට්ස්ඇප් අංකයක් තියෙනවා 075 408 8604 කියන වට්ස්ඇප් අංකය. අන්න ඒ අංකයට ඡායාරූපය එවීම හරහා පුළුවන් රෝගීන් හඳුනාගන්න. ඇත්ත වශයෙන්ම කියන්න කැමතියි ඒ සේවාව පටන් අරගෙන මාසයක් තුළ රෝගීන් 10දෙනෙක් සොයා ගන්න පුළුවන් වුණා ඒ සේවා තුළින් පමණක්. ඊළඟ කාරණය තමයි ලාදුරු කියන රෝගයට බය විය යුතු නැහැ. හැංගිය යුතු නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ලාදුරු ගැන කතාකරන සමාජයක් ගොඩ නගන්න. අපි ඉල්ලා සිටිනවා ලාදුරු මර්දනය කරන්න මේ රටේ ඉන්න සියලුදෙනාගේ සහාය අපිට ලබාදෙන්න.”

Leave a Reply

Your email address will not be published.