කට්ටාගේ සහායට පැමිණි මිතුරන් දෙදෙනාට ගම්මුන්ගෙන් ප්‍රහාරයක්

තම ඥාති මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින්  තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එක් අයෙකු ඊයේ (23) රාත්‍රීයේ ඝාතනයට ලක්ව ඇති බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

එලෙස පහරකා මියගොස් ඇත්තේ 46වැනි වියේ පසුවු මහරගම, දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ දර්ශන කුමාර නැමැති පුද්ගලයෙක් බවද බවද පොලීසිය පැවසීය.

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඥාතීන් පිරිසක් අතර පැවති ආරවුලක් සම්බන්ධයෙන් තම මස්සිනා සමග ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සැලසුම් කොට තම මස්සිනාට පහරදීම සඳහා මහරගම, සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචි තම මිතුරන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් මගින් කතා කොට ඊයේ රෑ බෝධිරාජපුර ක්‍රීඩාංගණයේදී මස්සිනාට පහරදීම සඳහා තමන්ට සහාය ලබාදෙන මෙන් කළ ඉල්ලීමක් මත පැමිණි මිතුරන් දෙදෙනා සමග මත්පැන් සාදයක් පවත්වා එය අවසානයේදී අදාළ පුද්ගලයා ක්‍රීඩාංගණය තුළට රැගෙනවිත් පහරදීම සඳහා මොවුන් සූදානම් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

මෝදරගේ සුසිත් කුමාර නොහොත් (කට්ටා) නැමැති පුද්ගලයා සමග තම ප්‍රදේශයේ පදිංචිකරුවකුට පහරදීම සඳහා කිහිපදෙනෙකු සූදානමින් සිටින බවට ලද ආරංචියක් මත ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන් තිදෙනා සිටි ක්‍රීඩාංගණය තුළට ගොස් මේ පිළිබඳ විමසීමේදී ඇතිවූ බහින්බස්වීමක් මත ගම්වාසීන් තියුණු ආයුධවලින් පහර දීමේදී පිළියන්දල ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා සමග කට්ටා නැමැති අය පැනගොස් ඇති බවත් සිද්ධියේදී ගම්වාසීන් අතරට කොටු වූ මහරගම ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා පහරකෑමෙන් ඝාතනයට ලක්ව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ  බවද පොලීසිය පවසයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මහරගම පුද්ගලයා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන විටත් මිය ගොස් සිටි බව කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.  

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයෙකුද කැපුම් තුවාල හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල රෝහල) ප්‍රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ රඳවාගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවත් පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.