කුවේට් ගිය කාන්තාවක් අභිරහස් ලෙස මරුට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී වසර 07 කට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි දිනයේදීම කාන්තාවක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙයි. 

ඇය මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පී. ජී.අනෝමා නමැති එක්දරු මවකි.

මියගිය කාන්තාවගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම මරණය පිළිබඳව සැකයක් මතුවන බැවින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසය.

සිය දරුවාට යහපත් ජීවිතයක් උදා කරදීමේ අරමුණින් මීට වසර 07 කට පෙර ඇය කුවේට් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.

ගෘහ සේවිකාවක ලෙස කුවේට්හි සේවය කළ ඇය සිය දරුවාට සහ තම මුණුබුරන්ට තෑගි බෝග ද රැගෙන ඉකුත්
අප්‍රේල් 26 වනදා යළිත් මව්බිම වෙත පැමිණීමට සූදානමින් සිටියාය.

ඇය ඒ බව සිය මවට දුරකථනය ඔස්සේ දැනුම් දී ඇත්තේ ඊට පෙර දිනයේදීය.

එළෙස පැමිණෙන ආදරණීය මව පිළිගැනීමට පුත් චතුරංග ධම්මික කටුනායක ගුවන් තොටුපොළට ගියත් ඇය පැමිණ තිබුණේ නැත.

වහා කලබලයට පත්වූ ඔහු ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් කළ විමසීමකදී නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් කටුනායක පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. 

එහිදී පොලීසිය ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් කළ විමසීමකදී අනාවරණ වී ඇත්තේ, අනෝමා මහත්මිය කුවේට් රාජ්‍යයෙන් ගුවන් යානයට ගොඩවී නැති බවය.

පසුව මේ ගැන සොයාබැලීම සඳහා ඇය සේවය කළ කුවෙට් නිවසට ඇයගේ මිතුරියන් කිහිප දෙනෙකු ගොස් තිබුණි.

එහිදී නිවසේ හාම්පුතු පවසා ඇත්තේ ඇය ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවය.

කුවේට් තානාපති කාර්යාලය හරහා ලබාගත් තොරතුරු අනුව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික මළසිරුරු දෙකක් තිබෙන බවත් ඉන් එකක් තම මෑණියන්ගේ මළසිරුර බවට සනාථ කළ බවත් අනෝමා මහත්මියගේ පුත් ධම්මික පවසයි. 

ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ, ගෙළ වැළලාගෙන මියයන්නට තරම් කිසිදු හේතුවක් මවට නොතිබුණු බවත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසය.

Leave a Reply

Your email address will not be published.