නාවික හමුදාව විසින් උතුරු වෙරළ තීරයේදී ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින්

නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී සිය භාරයට ගන්නා ලද යාත්‍රාවේ අයිස් සහ හෙරොයාන් මත්ද්‍රව්‍ය ඇති බවට මේ වන විට හඳුනාගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය යටතේ සිදුකරමින් පැවති පරීක්ෂණ මගින් මේ බව තහවුරු කරගත් බවය.

ඒ අනුව කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් එහි පවතින බවද නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45.5ක පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35.7ක පමණ තොගයක් ඇති බවට මේ වන විට අනාවරණය වී ඇත.

අද (27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්විය.

එහිදී සැකපිට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකරෙන යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගැනුණි.

උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් මෙම මෙහෙයුම අද සිදුකර ඇත.

නාවික හමුදා භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරමින් පවතින බවද නාවික හමුදාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.