උතුම් වෙසක් පුන් පොහොය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී  දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

මේ අතර වෙසක් දින වෙනුවෙන් අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සදහන් කළේ අසංවරතාවන් බැහැර කර ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දෙමින් කටයුතු කිරිමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවය.

දන්දීම මත පදනම් වු අරමුණු පෙරදැරිව මෙවර වෙසක් උළෙල සැමරිය යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පැවසීය.

මේ අතර මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.

බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.