ජනාධිපති ලේකම්ගේ නිවසට ඇතුළුවීමට ආ සැකකරු හසුවෙයි

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ නිවසට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුව පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුළුවීමට සැකකරු උත්සාහ කර ඇත.

එම පුද්ගලයා අද (30) දහවල් 12.30 පමණ එම නිවසට ඇතුළුවීමට උත්සාහ ගෙන තිබේ.

සැකකරු තාප්පයෙන් පැන වත්තට ඇතුළුවෙන ආකාරය නිවසේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් රැඳීසිටි පොලිස් නිලධාරියෙකු දැක තිබුණි.

එහිදී අදාළ පොලිස් නිලධාරියා ඔහුව අල්ලා ගැනීමට යෑමේදී පොරබැදීමක් සිදුවී සැකකරු පළාගොස් ඇත.

පසුව අදාළ පොලිස් නිලධාරියා විසින් සිද්ධිය පින්වත්ත පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා වෙත දුරකථනයෙන් දැනුම්දී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පින්වත්ත පොලීසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් දෙකක් සහ යතුරුපැදි 06කින් ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව සැකකරු පින්වත්ත ප්‍රදේශයේ පාළු නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

සැකකරු 25 හැවිරිදි ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පෙදරේරු රැකියාවේ නිරත පුද්ගලයෙකු බවත් අනාවරණය වී ඇත.

මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු දැඩිව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවය.

මේ වනවිට පින්වත්ත පොලිස් භාරයේ පසුවන එම සැකකරු හෙට (31) දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.