එන්නතක් ලබාදුන් සිව්මස් බිළිඳියක් මරුට

වයස මාස හතරේදී ලබාදිය යුතු බවට සෞඛ්‍ය අංශ නියම කර ඇති එන්නත ලබාගත් කුලියාපිටියේ බිළිඳියක් ඊට පසුදින මිය ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ වෙත ඒ සම්බන්ධව විවිධ චෝදනා එල්ල වුවද, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසන්නේ එය එන්නතේ ගැටලුවක් මත සිදුවූ මරණයක් විය නොහැකි බවය.

සෞඛ්‍ය අංශ විසින් මාස 4දී නියම කර ඇති එන්නත කුලියාපිටිය, ඉහළගොමුගොමුවේ පදිංචි මාස 4ක බිළිඳියකට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඉකුත් සෙනසුරාදා ලබා දී තිබුණි.

ඉන් පසුව නිවසට ගෙන ආ බිළිඳිය පසු දින අලුයම මිය ගොස් සිටි බව පවුලේ ඥාතීන් පැවසීය.

බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පැවති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඒ පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ. 

නිවසට රැගෙන ආ බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේම ඉහළ ගොමුගොමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published.