උපන්දින සාදය ගිනිතැබූ සැකකරුවන් රිමාන්ඩ්

උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය 24 වනදා අලුයම ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වවුනියාව මහෙස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා එලෙස නියෝග කර ඇත.

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ නිවසක ඇතිවී තිබූ එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට 31 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණි.

සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමට වවුනියාව පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබුණි.

අදාළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් ඊයේ (02) සවස වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාගත කෙරුණි.

වවුනියාව බන්ධනාගාරයේ පවතින බෝවන රෝග ව්‍යාප්තිය මත සැකකරුවන් අනුරාධපුරය බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවද බන්ධනාගාර නිලධාරීන් පැවසීය.

පොලීසිය පැවසූවේ අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර, පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වනදා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වු බවය.

සැකකරුවන් උපන්දින සාදයක් පැවැත්වු නිවසට පැමිණ නිවැසියන්ට කැපුම් තුවාල සිදුකොට, ඔවුන් නිවස තුළට ගිය අවස්ථාවේදී නිවසට ගිනිතබා තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබු වයස අවුරදු 02ක පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවද පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.