අයිස් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඇල්ල, ගොටුවෙල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අද (30) අලුයම 01.30ට පමණ, වැටලීම සඳහා ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් පස් දෙනෙකු ගොස් ඇති අතර, ඉන් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 38ක සහ 29ක පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වන අතර, තුවාල ලැබූ නිලධාරීන් මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එක් පුද්ගලයකු ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

සැකකරු, නේවී අසංක නොහොත් අසංක මදුර නමැති නාවික හමුදාවෙන් පැනගොස් සිටින අයකු බවට තොරතුරු වාර්තා වේ.

එසේම අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සතුව තියුණු පිහියක්, අත් බෝම්බයක් හා නකල් නමැති අතින් පහර දීමට භාවිත කරන ආයුධයක් ද තිබී ඇති බව පොලීසිය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published.