CIDයෙන් පනින්න හරක් කටා හැදූ මාස්ටර් ප්ලෑන් එක වරදියි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඉතා සූක්ෂම ලෙස ඉන් පළායාමට උත්සාහ කර තිබේ.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහායෙන් එලෙස පළායාමට උත්සාහ කර ඇති බවය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු”  පසුගිය මාර්තු 15 වැනිදා දිවයිනට රැගෙන ආවේය.

ඒ අනුව, ඔවුන් දෙදෙනා මේවන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටී.

ඔවුන්ව මාස 3 බැගින් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය අවස්ථා දෙකකදි අවසර ලබාදී තිබූ අතර, එහි කාලසීමාව අවසන් වන නිසා තුන්වන වරටත් යළි අවසර ලබා ගැනීමට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂාවෙන් සිටියේය.

ඒ හේතුවෙන් හරක් කටා දැඩි සිත්තැවුලෙන් සිටි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආංරචි මාර්ග සඳහන් කළේය.

මෙවන් පසුබිමක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අඩු දිනයක් වූ ඉරිදා දිනයේ එනම් ඊයේ (10) දහවල් 12.30ට පමණ හරක් කටා රඳවා සිටි සිර මැදිරියෙන් පිටතට ගෙන ප්‍රශ්න කිරීම සඳහා හතරවන තට්ටුවේ පිහිටි විමර්ශන අංශයක් වෙත රැගෙන විත් තිබුණි.

එම අවස්ථාවේදි ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු නිලධාරින් 8 දෙනෙකු සිටි බව වාර්තාවෙයි.

ප්‍රශ්න කිරීම් අතරතුරදී එහි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තමන් ගමෙන් රැගෙන ආ බවට පවසමින් කිරිටොෆි කිහිපයක් සෙසු නිලධාරින් හත්දෙනා වෙත ලබාදී තිබු අතර එහි පැවති දැඩි තිත්ත ස්වභාවයක් නිසා එම නිලධාරීන් එය ආහාරයට ගෙන තිබුණේ නැත.

අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් සෙසු නිලධාරීන්ට තේ සාදා පිළිගන්නවා තිබුණි.

එය පානය කිරීමත් සමගම නිලධාරීන්ට හිස බමන ස්වභාවයක් සමග මත් ගතියක් ඇතිවී තිබේ.

ඒ අතරවාරයේ හරක් කටා ඔහුට වැසිකිලි යාමට අවශ්‍ය බවට පැවසීම නිසා නිලධාරින් ඊට අවස්ථාව ලබාදී තිබුණි.

ඒ අනුව, නිලධාරීන්ට තේ සාදා දුන් පොලිස් කොස්තාපල්වරයා විසින්ම හරක් කටාට මංචු පළඳවා ඔහුව  6 වැනි මහලේ පිහිටි වැසිකිළියක් වෙත කැටුව යද්දී හරක් කටාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයාද ඒ සමග ගොස් තිබුණි.

වැසිකිළියට ගිය “හරක් කටා” පිටතට පැමිණ ඇත්තේ තම අත්වලට මාංචු දමා ඇති බවට රඟපෑමක් සිදු කරමිනි.

එම අවස්ථාවේදී ක්ෂණයෙන් ක්‍රියාක්මක වූ “හරක් කටා” සිය ආරක්ෂාවට සිටි එස්.ටී.එෆ් නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කර තිබේ.

කෙසේවෙතත් දෙදෙනා අතර පොරබැදීම සිදුවන අතරතුර “හරක් කටා” විසින් ඔහු සතු අගුළු විවිරව තිබූ අත් මාංචු යුගළ එස්.ටී.එෆ් නිලධාරියාට දැමීමට උත්සාහ කර තිබුණි.

එම සිදුවීම වන අතරවාරයේ අදාළ පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයෙන් දිවගොස් 4 වැනි මහළට පැමිණ, සිය ජංගම දුරකථනය වෙනුවට වෙනත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ජංගම දුරකථනයක් රැගෙන පළාගොස් තිබේ.

අනතුරුව ඉහළ මහළෙන් එස්.ටි.එෆ් නිලධාරියාගේ කෑගසන ශබ්දය ඇසිමත් සමග එහි ගිය නිලධාරීන්  “හරක් කටා” මෙල්ල කර සිය භාරයට ගැනීමට සමත් වුණි.

මේ අතර, අතුරුදන් කොස්තාපල්වරයා සොයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (10) දිනයේම ඔහු පදිංචි ත්‍රිකුණාමලයේ සේරුවිල නිවසට ගියත් ඔහු එහි සිට නොමැත.

ඒ අනුව, සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිටි භට නිවස්නය පරික්ෂා කිරිමේදී ඔහුගේ ඇඳ යට තිබියදී ඔහුට අයත් ඇඳුම් බෑගය සොයාගෙන ඇත.

පොලීසිය පැවසූවේ එහි තිබී මත් පෙති තොගයක් විමර්ශන නිලධාරින්ට හමුවූ බවය.

ඒ අනුව, අදාළ මත්පෙති හා කිරිටොෆි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අතර මෙම පොලිස් කොස්තාපල්වරයා රැගෙන ගිය ජංගම දුරකථනය ඊයේ රාත්‍රීය වන තෙක්ම සක්‍රීයව පැවති අතර මේ වනවිට එය ක්‍රියා විරහිත කර තිබේ.

අවසාන වශයෙන් එය සක්‍රීයව තිබී ඇති බවට සටහන්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේදීය.

පොලීසිය පැවසූවේ එම සිදුවීම සම්බන්ධයෙන් හරක් කටාගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී තමාට පොලිස් කොස්තාපල්වරයාගේ සහාය ලැබුණු බවට පිළිගත් බවය.

එම සම්පූර්ණ සිද්ධිදාමය පිළිබඳව විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා තිබේ.

ඒ අනුව එම සිදුවීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් පොලිස් නිලධාරින්ගේ සහාය ලැබී තිබුණේ ද යන්න පිළිබඳවත්, හරක් කටා කැටුව යාම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රෙයන් පිටත කිසිවකු හෝ රැඳී සිටියේද යන්න පිළිබඳවත් විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.