දළ දේශීය නිෂ්පාදිතයේ පසුබෑමක්

2023 වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂ ව 3.1%කින් සංකෝචනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙවැනි කාර්තුවේ ගිණුම් ඇස්තමේන්තු එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් දක්නට ලැබුණත් කාර්මික හා සේවා අංශයේ පසුබෑමක් දක්නට ලැබෙන බවයි.

2023 වසරේ දෙවැනි කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,597,441ක් ලෙස වාර්තා වී ඇත.

කෙසේ වෙතත් 2022 වර්ෂයේ දී මෙම අගය රුපියල් මිලියන 2,680,074ක් ලෙස වාර්තා වී තිබිණි. 

ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂ ව 3.1%කින් සංකෝචනය වී තිබෙන බව සඳහන්ය.

කෙසේ වෙතත් එම කාර්තුව තුළ කාෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදු වී ඇති අතර, පෙර වසරට සාපේක්ෂ ව එය 3.6%ක වර්ධනයකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, ධාන්‍ය වගා කිරීම, පැළ බෝකිරීම, වී වගාව, කාෂිකාර්මික සහාය සේවා කටයුතු, තේ, එළවළු සහ පලතුරු වගා කිරීම මෙන්ම කරදිය ධීවර කටයුතු සහ සත්ත්ව නිෂ්පාදනවල ධන වර්ධන වේගයන් වාර්තා කර ඇති බවයි.

නමුත් එම ගිණුම් ඇස්තමේන්තු අනුව කාර්මික අංශයේ සහ සහ සේවා අංශයේ යම් පසුබෑමක් දක්නට ලැබේ.

කර්මාන්ත අංශය තුළ පෙර වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂ ව මේ වර්ෂයේ 11.5%ක පසුබෑමක් පවතින බව වාර්තා වේ.

එමෙන්ම පෙර වසරට සාපේක්ෂ ව සේවා අංශය පසුබැසීම 0.8%කි.

එහි දී මූල්‍ය සේවා 18.8%කින්, වෘත්තීය සේවා 9.3%කින්, තොරතුරු තාක්ෂණ සේවා 8.5%කින්, විදුලි සංදේශ සේවා 4.4%කින්, සෞඛ්‍ය සේවා 2.6කින්, පසුබැසීම් වාර්තා කර තිබේ.

මේ අතර, තේ කර්මාන්තයේ අස්වැන්න පසුගිය වසරට සාපේක්ෂ ව මේ වසරේ වැඩි වීමක් සිදු ව ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.