මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
ඒ, ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයින් පිරිසක් කටයුතු කර තිබුණේ ඊයේ (25) පස්වරුවේය.
ඒ, සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැණුනු තීන්දුවක් මුල් කරගනිමිනි.
කොල්ලුපිටිය පොලීසියට මේ සම්බන්ධයෙන් කළ දැනුම්වත් කිරීමක් අනුව පොලිස් නිලධාරීන් එහි පැමිණියේය.
අනතුරුව පොලිසියේ මැදිහත් වීමෙන් සභාපතිවරයා ඇතුළු පිරිස පිටතට රැගෙන ආවේය.
එම සිදුවීමට මිල්කෝ සමාගමේ වෘත්තිය සමිති නායකයින් ඇතුළු සේවකයින් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනි.
ඒ, මිල්කෝ සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මතය.