ට්‍රම්ප් ඉදිරියෙන්

මේ මොහොතේ අමෙරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත්, ඒ සඳහා ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව ප්‍රසිද්ධ කරුණකි. 

එහිදී ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය සහ ඉප්සොස් (IPSOS) වෙළෙඳපොළ පර්යේෂණ ආයතනය සමීක්ෂණයක් පවත්වා තිබේ. 

ප්‍රතිඵලය තමයි හිටපු ජනපති ට්‍රම්ප් එය ජයග්‍රහණය කරනු ඇති බවය. 

පසුගිය දෙසැම්බර් 5 වැනිදා සිට 11 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ එම ජනමත සමීක්ෂණයට අනුව 38%ක් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඇති අතර, වත්මන් ජනපති ජෝ බයිඩන්ට සහාය පළ කර ඇති ප්‍රතිශතය 36%කි. 

26%ක් පවසා ඇත්තේ, තමන් ඒ පිළිබඳ මෙතෙක් තීරණයකට එළඹී නොමැති බව හෝ වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන බවය.

කෙසේ නමුත් 81 හැවිරිදි ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සහ 77 හැවිරිදි රිපබ්ලිකන් පක්ෂ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර 2024 නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තියුණු තරගයක් පවතිනු ඇති බව දැන් පැහැදිලි කරුණකි.

මෙම අපේක්ෂකයන් දෙදෙනාටම නැවත ධවල මන්දිරයට පිවිසීම වළක්වන අවදානම් සහගත කරුණු රැසක් පවතින බව රොයිටර්ස් විශ්ලේෂකයා ඉදිරිපත් කරයි.

දැනටමත් අමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා වන වත්මන් ජනපති ජෝ බයිඩන්ගේ වයස සහ කායික යෝග්‍යතාව අමෙරිකාවේ ජනාධිපතිධුරය දැරීම සඳහා සුදුසු ද යන්න දැන් අමෙරිකානුවන්ගේ කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවකි.

ඊට අමතරව අමෙරිකානු ආර්ථිකයේ ශක්තිමත්භාවය සහ මෙක්සිකෝ දේශසීමාවේ අනාරක්ෂිතභාවය පිළිබඳව අමෙරිකානුවන්ගේ අවධානය යොමුවන්නේ ජනපති බයිඩන්ට අවාසිදායක ලෙසිනි.

පලස්තීන ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර සඳහා අමෙරිකාවේ කොන්දේසි විරහිත සහාය පළ කිරීම නිසා අරාබි හෝ මුස්ලිම් සම්භවයක් සහිත අමෙරිකානුවන් දැනටමත් ජනපති බයිඩන් අත්හැරීමේ (ABANDON BIDEN) ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

එමඟින් ද ජනපති බයිඩන්ට අවාසිදායක තත්ත්වයක් මතු වේ.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද 2024 අමෙරිකානු ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අභියෝග රැසක් ජයගත යුතු . 

2020 වසරේ ජනපති ජෝ බයිඩන් පරාජය වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා දැරූ උත්සාහයන් සහ ධවල මන්දිරයෙන් නික්මෙන විට අමෙරිකානු රජයේ රහස්‍ය ලේඛන රැගෙනයාම ඇතුළු අපරාධ චෝදනා නඩු විභාග 04කට ඔහු මුහුණ දෙයි.

2024 වසරේ නොවැම්බර් 5 වැනිදා එනම් ජනාධිපතිවරයා දිනට පෙර හිටපු ජනපති ට්‍රම්ප්ට එරෙහි දඬුවම් නියම කිරීමක් සිදුවුවහොත් ඔහුට හිමිවන සහාය කැපී පෙනෙන ලෙස පහත වැටිය හැකි බව මත සමීක්ෂණයෙන් හෙළි වූ කරුණකි.

කෙසේ නමුත් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා පවතින තරගයේදී හිටපු ජනපති ට්‍රම්ප් ඉදිරියෙන් සිටින්නේ ආසන්නතම ප්‍රතිවාදියාට වඩා 50%ක් පමණ ඉදිරියෙනි. 

අමෙරිකානු ඡන්ද ක්‍රමය ඉතාමත් සංකීර්ණ ක්‍රියාදාමයක් නිසා එය හුදෙක් ජනප්‍රිය ඡන්ද සංඛ්‍යාව නැත්නම් සමස්ත වැඩි ඡන්දය මත රඳා පවතින්නේ නැහැ.

ඉලෙක්ටෝරල් කොලෙජ් (ELECTORAL COLLEGE) නැත්නම් ඡන්ද විද්‍යාල ක්‍රමවේදය යටතේ අමෙරිකානු ජනාධිපතිවරණය ජයගැනීම සඳහා තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ජයග්‍රහණය වැදගත් වේ.

2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක වූ ප්‍රාන්ත 7ක් තිබේ.

නම් වශයෙන් ගත්තොත් විස්කොන්සින්, පෙන්සිල්වේනියා, ඇරිසෝනා, ජෝජියා, නෙවාඩා, උතුරු කැරොලයිනා සහ මිචිගන් එම ප්‍රාන්ත වේ.

මේ තීරණාත්මක ප්‍රාන්තවල 4%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් පවත්වාගැනීමට ජනපති ජෝ බයිඩන් 2020 වසරේදී සමත්වුවත් දැන් එම තත්ත්වය වෙනස් වී ඇති බව පැහැදිලිය.

සමස්තයක් ලෙස අමෙරිකානුවන් බහුතරයක් බයිඩන් – ට්‍රම්ප් මැතිවරණ සටනක් අපේක්ෂා කළත් අමෙරිකාවේ තට්ටුමාරු දේශපාලන ක්‍රමයට අප්‍රසාදය පළ කරන අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ද සමීක්ෂණයෙන් හෙළි වී ඇති කරුණකි.

ඔවුන් ඩිමොක්‍රෙටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙන් පිටත තුන්වැනි අපේක්ෂකයෙකු පිළිබඳව බලාපොරොත්තු පළ කරන අතර එවැනි තුන්වැනි අපේක්ෂකයෙකු ලෙස කැපී පෙනෙන්නේ අමෙරිකාවේ කෙනෙඩි දේශපාලන පරපුරේ සාමාජිකයෙකු වන රොබට් එෆ්. කෙනඩි.

තුන්වැනි අපේක්ෂකයෙකු ලෙස රොබට් එෆ්. කෙනඩි ඉදිරිපත්වුවහොත් ඔහුට හිමිවන්නේ හිටපු ජනපති ට්‍රම්ප්ට හිමිවන ඡන්දවලට වඩා ජනපති බයිඩන්ට හිමිව තිබූ ඡන්ද  බව මත සමීක්ෂණයෙන් හෙළි වූ තවත් කරුණකි. 

එලෙස කෙනෙඩි පරපුරේ සාමාජිකයා තුන්වැනි අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් හිටපු ජනපති ට්‍රම්ප්, වත්මන් ජනපති බයිඩන්ට වඩා 5%කින් පමණ ඉදිරියෙන් සිටිනු ඇති බව විශ්වාස කෙරේ.

අමෙරිකානු ආර්ථිකය හැසිරවීමේදී හිටපු ජනපති ට්‍රම්ප් වඩාත් සුදුසු අපේක්ෂකයා බවට 45%ක් අමෙරිකානුවන් විශ්වාසය පළකරද්දී, ජනපති බයිඩන්ට  එම විෂය පථයේදී හිමිව ඇත්තේ 33%ක ජනප්‍රසාදයකි.

අමෙරිකාවේ අපරාධ මැඬලීම සහ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වඩාත් හොඳ පියවර ගනු ඇත්තේ හිටපු ජනපති ට්‍රම්ප් බව 42%ක් අමෙරිකානුවන් පවසද්දී ජනපති බයිඩන්ට එහිදී හිමිව ඇත්තේ 32% ප්‍රතිශතයකි. 

කෙසේ නමුත් හිටපු ජනපති ට්‍රම්ප් ඔහුට එරෙහි අපරාධ නඩු විභාගයකදී ජූරියක් මඟින් වරදකරුවෙකු කළහොත් ඔහුට ඡන්දය ප්‍රකාශ නොකරන බව සමීක්ෂණයට සහභාගී වූ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතුරින් 31%ක් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.