රිමාන්ඩ් කළ හිටපු සෞඛ්‍ය ලේකම් මැගසින් බන්ධනාගාරයට

රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය ආනයනය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා ඊයේ දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි අවස්ථාවේදී එහි නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකාර හිටපු ලේකම්වරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර කෙරුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු සිව්දෙනාද මැගසින් බන්ධනාගාරයේ වෙන වෙනම රදවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර ප්‍රබල ගණයේ අපරාධකරුවන් රැගෙන යනු ලබන බන්ධනාගාර බස් රථවල සී සී ටී වී කැමරා පද්ධති සවි කිරීම ආරම්භ කර තිබෙනවා.

එම අපරාධකරුවන්ට බස්රථ තුළදී සිදුකළ හැකි අක්‍රමිකතා වැළැක්වීමේ පියවරක් එලෙස කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ වනවිටත් අදාළ රැදවියන් රැගෙන යනු ලබන කොළඹ රිමාන්ඩ්, කළුතර, බෝගම්බර සහ බූස්ස බන්ධනාගාරවල බස් රථවල සී සී ටී වී කැමරා පද්ධති සවි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ

Leave a Reply

Your email address will not be published.