නොසිතූ තැනකට තල්ලුවෙන ඉන්දියාවේ විනෝදාස්වාදය

කෝටි 140 ඉක්මවූ ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට මෙන්ම සංගීතය, නර්තනය වැනි කලාවන්ට කැපවූ ජන කොටසක් සිටින ඉන්දියාව ENTERTAINMENT BUSINESS නැත්නම් විනෝදාස්වාද කර්මාන්තයට ලෝකයේ හොඳම වෙළෙඳපොළක් බව ප්‍රකට කරුණකි.

මේ හේතුවෙන් HBO, SONY, ඩිස්නි වැනි ලෝකප්‍රකට විනෝදාස්වාද සමාගම් ඉන්දියාවේ දැවැන්ත ආයෝජන සිදුකළේය.

එමෙන්ම විදේශීය සමාගම්වලට ඉන්දියාවේ ස්වදේශික විනෝදාස්වාද සමාගම් සමග දැඩි තරගයකටද මුහුණදෙන්න සිදුවී තිබේ.

ඒ සඳහා විසඳුමක් ලෙස ඔවුන් තෝරාගෙන තිබෙන්නේ දේශීය විනෝදාස්වාද සමාගම් සමග ඒකාබද්ධවීමටය.

ඒ අතුරින් ජපානයේ සෝනි සමූහය, ඉන්දියාවේ සී (ZEE) එන්ටර්ටේන්මන්ට් සමඟ ඒකාබද්ධවීමට සැලසුම් කර තිබුණේ ඩොලර් බිලියන 10ක ආයෝජනයකිනි.

එම ඒකාබද්ධ කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වුණේ ඉන්දියාවේ ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ රිලායන්ස්, ඉන්ඩස්ට්‍රීස් සමූහය අමෙරිකානු වෝල්ට් ඩිස්නි සමාගම සමග ඒකාබද්ධවීමට සැලසුම් කිරීම හේතුවෙනි.

එහෙත් සෝනි – සී (ZEE) ඒකාබද්ධකිරීමට දැන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය අද (22) වාර්තා කළේය.

ඒ ඒකාබද්ධවීමේ එකඟතාව අවසන් කරන බවට සෝනි සමාගම ZEE ENTERTAINMENT වෙත දැනුම්දීමේ ලිපියක් යොමු කිරීමත් සමඟය.

එම ලිපිය ආයෝජකයන් වෙත පසුව නිරාවරණය කරන බවද සෝනි සමාගම ප්‍රකාශ කළේය.

සෝනි – සී ඒකාබද්ධකිරීම ප්‍රකාශයට පත්කෙරුණේ මීට වසර 02කට පමණ පෙර වුවත්, සමාගම් දෙක අතර නිසි ඒකාබද්ධවීමක් සිදුනොවූයේ ZEE ENTERTAINMENT ප්‍රධාන විධායක පුනිට් ගොයෙන්කා පිළබඳව ඉන්දියාවේ සුරැකුම්පත් හා විනිමය කොමිසම විමර්ශනයක් ආරම්භ කිරීම හේතුවෙනි.

කෙසේනමුත් සෝනි සමාගම ඒකාබද්ධවීමේ ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ ඒකාබද්ධකිරීමෙන් පසු සමාගමේ පාලනය හිමිවිය යුත්තේ කාටද යන්න පිළිබඳ ගැටලුවක් මතුවීම හේතුවෙනි.

කෙසේ නමුත් සෝනි සමග ඒකාබද්ධ වීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බවයි ZEE ENTERTAINMENT ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.