පොලීසිය ඇතුළටම ආ පාතාලේ

ආදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදුන් පුද්ගලයාව පොලිසිය හඳුනාගෙන තිබේ.

ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඔවුන්ට වස ලබාදී තිබුණේ ඔවුන්ගේ සුවදුක් විමසීමට පැමිණි පුද්ගලයෙකු විසිනි.

එම පුද්ගලයා පොලීසියට පැමිණීමට පෙර ආදුරුප්පුවීදියේ වෙළෙඳසැලකට යන අයුරු එහි CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකු බවය.

එමෙන්ම ඔහු විසින් වස ලබාදුන් සැකකරුවන් දෙදෙනා මෙන්ම ඔහුද පූකුඩු කන්නා නම් අපරාධකරුගේ සමීපතමයන් බවද පොලීසිය පවසයි.

කුඩු සෙල්විගේ පාර්ශ්වයේ සමීපතමයෙකුට ඔවුන් වෙඩි තැබීමට කටයුතු කර තිබුණේද ඒ සමීප සබඳතාව හේතුවෙනි.

ඒ අනුව කුඩු සෙල්විගේ පාර්ශ්වය විසින් මෙම පුද්ගලයාට මුදල් ලබාදී අපරාධය සැලසුම් කර ඇති බවට පොලීසිය සැකකරයි.

වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගතකළ පුද්ගලයන් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බව වාර්තාවෙයි.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආදුරුප්පුවීදිය පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති, උප සේවක නිලධාරීවරයා සහ ගේට්ටු ආරක්ෂක නිලධාරියාගේ වැඩ තාවකාලිකව තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.