හික්කඩුවේදී කොටුවූ පාසල් අසළ ජයටම කළ ජාවාරම

බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් 08 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව පොලිස් වසමේ ප්‍රධාන පෙළේ පාසල් අසළ වෙළෙඳසැල් පවත්වාගෙන ගිය පුද්ගලයින් 08 දෙනෙකි.

උපාය දූතයෙකු යොදවා සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර වෙළෙඳසැල් හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගේ වෙළෙඳසැල්වල තිබූ දුම්වැටි ද නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පාසල් අසල පවත්වාගෙන යනු ලබන උපකාරක පන්ති සඳහා පැමිණෙන පාසල් දරුවන් වෙත මොවුන් දුම්වැටි අලෙවි කර ඇති බවය.

පාසල් මුල්කර ගනිමින් මව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ සහාය ලබාගනිමින් ආරම්භ කර ඇති ‘පවුර’ වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර වෙළෙඳසැල් හිමිකරුවන්ට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
 

Leave a Reply

Your email address will not be published.