CID ආ මෛත්‍රී – ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැය පහක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා විය.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, ඒ පිළිබඳ අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ ගැන කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 22 වනදා මහනුවරදී ප්‍රකාශ කළේය.

ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළ අතර ඒ අනුව ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබුණි.

අද පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු  3.40ට පමණ අපරාධ පරීක්ණෂ දෙපාර්තමේතුවෙන් පිටව ගියේය.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා දුන් ප්‍රකාශය පිළිබඳ වැඩිදුර කරුණු විමර්ශනය කර නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published.