සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ලබාදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතුයි.

යම් තැනැත්තෙකු හෝ රජයේ ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වන දිනට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 01 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.