තවත් කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කෙරේ

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

අද (29) අලුයම් කාලයේදී කිසියම් පුද්ගලයෙකු විසින් එම ඝාතනය සිදුකර ඇත.

මරණකාරිය යම්කිසි අවශ්‍යතාවයක් සඳහා අලුයම් කාලයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස කිසිවෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇත.

තියුණු ආයුධ පහරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි එක්දරු මවකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

මේ අතර, ගලිකිරියාගම පොලිස් වසමේ බණ්ඩාරපතාන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ.

පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ ස්ථානයට ගොස් තුවාලකරුවන් දෙදෙනො දඹුල්ල හා ගල්කිරියාගම රෝහල්වලට ඇතුළුත් කිරීමේ දී එක් අයෙක් මිය ගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 69 හැවිරිදි අයෙකි. 

දෙපාර්ශවයක් අතර ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් මියගිය පුද්ගලයාට හා ඔහුගේ පුතාට මෙලෙස පහරදී ඇති බවට අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් 42 හැවිරිදි හා 62 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.