ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා

ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරි කළ මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු අධික උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මරණ වාර්තා වන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. මේ වනවිට, ඉන්දියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රාන්ත දැඩි උණුසුම් කාලගුණයකින් බැට කයි. ඇතැම් ප්‍රාන්ත සහ නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 පසු කර තිබේ.

‘ඒක ඇත්තටම කනගාටුදායකයි. මියගියේ මැතිවරණ කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණින් ඒ වෙනුවෙන් කැප වී රාජකාරි කළ නිලධාරීන් තිස් තුන් දෙනෙක්.’ යැයි උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන නව්දීප් රින්වා මාධ්‍ය හමුවේ පවසා ඇත.

මියගිය එක් නිලධාරියකු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 1.5 ක වන්දි මුදලක් ලබා දීමට ඉ්දීය රජය තීරණය කර ඇති බව ද නව්දීප් රින්වා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන අන්දමට, මේ දිනවල ඉන්දියාවට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මියගිය සමස්ත ඉන්දියානුවන් ගණන 58 කි. මරණ වාර්තා වී ඇත්තේ උත්තර ප්‍රදේශ්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, ඔඩිස්ෂා යන ප්‍රාන්තවලිනි.

දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණය ඊයේ (2) වැනිදා අවසන් විය. ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් පිහිටුවා තිබුණු අතර, මැතිවරණ නිලධාරීහු මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල නිරත වූහ.

ඡන්ද ගණන් කිරීම හෙට (4) උදෑසන 8.30 ට ආරම්භ වනු ඇති අතර නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (4) රාත්‍රියේ හෝ අනිද්දා (5) උදෑසන සිදුවනු ඇත. 

Leave a Reply

Your email address will not be published.