හිත ලොකු වග පුංචි චරිත්මාගේ වීර ක්‍රියාව

පාදුක්ක වග ඉරිදාපොළ ප්‍රදේශයේදී මහා ගංවතුරේ පිහිනා ගොස් ජීවිත දෙකක් බේරාගත් පාසල් සිසුවියක් ගැන අපවෙත තොරතුරු වාර්තාවිය.

17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ නමැති ඇය පාදුක්ක සිරි පියරතන විදුහලේ ඉගෙනුම ලබයි.

පසුගියදා ඇදහැළුණු මහා වර්ෂාව සමග එම වග ඉරිදාපොළ ආසන්නයෙන් ගලා බසිනා වක් ඔයේ ප්‍රචණ්ඩ සැඩ පහර එක්වරම ඉහළගොස් තිබුණි.

මධ්‍යම රාත්‍රියේ එක්වරම ඇතිවූ මෙම ගංවතුර තත්ත්වය සමග බොහෝ පිරිස් සියල්ල අත්හැර දමා දිවගොස් උස් ස්ථානවල රැඳී සිටිමින් දිවි බේරාගෙන තිබුණි.

ඒ සුළු මොහොතකින් අඩි 10ක පමණ උසකින් ගංවතුර තත්ත්වය වර්ධනය වීම හේතුවෙනි.

චරිත්මාගේ මිත්තණිය සහ මුත්තණුවන් ද නිවස පසුපස පිහිටි කන්දකට දිවගොස් දිවි බේරාගෙන තිබුණි.

එම අවස්ථාවේ චරිත්මා නිවසේ ජනේලයකින් පිටතට පැමිණෙමින් සිටින විටදී තමන්ව බේරාගන්න ලෙසට කෑ ගසන ශබ්දයක් ඇසී තිබුණි.

එහිදී ඈතින් ඇසුණු කෑ ගැසීමට අනුව වහාම ක්‍රියාත්මක වූ චරිත්මා ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ගොස් ප්ලාස්ටික් රැහැනක් ගෙනවිත් ඔවුන් සිටි දෙසට පිහිනා ගොස් තිබුණි.

අනතුරුව උදව් ඉල්ලා කෑගැසූ අඹු සැමි යුවළ එම රැහැන ආධාරයෙන් තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය වෙත රැගෙන ගොස් තිබුණි.

චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ දියණියගේ මව්පියන් දෙදෙනාම රැකියා කටයුතු සඳහා කොළඹ ප්‍රදේශයේ නැවතී සිටින බැවින් ඇය සහ ඇයගේ සහෝදරයා ආච්චි සහ සීයා සමග මෙම නිවසේ සිටියි. 

ඇයගේ සියලු සහතික පත් පොත් පත් ගං වතුරේ ගසාගෙන ගොසිනි. 

තම අධ්‍යානික කටයුතු සඳහා අවශ්‍ය සියල්ල ගං වතුර රැගෙන ගියත් ඇය තවමත් සිනාසෙමින් උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියි. 

ඒ ඇයට අහිමි වූ හැමදේටම වඩා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකිවීම පිළිබඳව වූ මානසික සුවය නිසාවෙනි.

මෙලෙස තම ජීවිතය පවා පරදුවට තබමින් තවත් ජීවිත දෙකක් බේරා ගත් ඇය සැබවින්ම වීරවරියක් නොවන්නේ ද ?

Leave a Reply

Your email address will not be published.