විරාත් කෝලි තවත් සුවිශේෂ කඩයිමක් අභියස

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 14,000 කඩයිම පසුකර යන තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 128ක් පමණි.

ඒ අනුව අද තරගයේදී හෝ අවසන් එක්දින තරගයේදී ලැබෙන අවස්ථාව අනුව ඔහුට ශ්‍රී ලංකාවේදීම මෙම සුවිශේෂී කඩයිම පසුකර යෑමේ අවස්ථාව ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ මේ දක්වා ලකුණු 14,000 කඩයිම පසුකර ගොස් සිටින්නේ පිතිකරුවන් දෙදෙනෙකු පමණි.

පළමුවෙන්ම මෙම කඩයිම පසුකර යාමට ඉන්දියාවෙන්ම බිහිවූ හිටපු විශිෂ්ට පිතිකරුවකු වන සචින් තෙන්ඩුල්කාර් (ලකුණු 18426) සමත් විය.

ඉන් අනතුරුව මෙම කඩයිම පසුකර යනු ලැබුවේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර (ලකුණු 14234) විසිනි.

2008 වසරේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ කෝලි අද (04) තරගයද ඇතුළුව ඉන්දියාව වෙනුවෙන් තරග 294 (ඉනිම් 281)කට ක්‍රීඩාකර ඇත.

මේ දක්වා එක්දින ලකුණු 13,872කට හිමිකම් කියන කෝලිගේ පිතිකරණ වාර්තා අතර ශතක 50ක් හා අර්ධ ශතක 72ක් ඇතුළත්ව ඇත.

එක්දින ශතක 50ක් වාර්තාකළ පළමු හා එකම පිතිකරුවාද කෝලි පමණක් වෙයි.

කෙසේ නමුත් කෝලියෙන් පසු වත්මන් එක්දින පිටියේ කිසිඳු පිතිකරුවෙකු අවම ලකුණු 11,000 කඩයිම හෝ පසුකර නොමැත.

ඒ ආසන්නයේ හෝ සිටින්නේ ඉන්දීය නායක රෝහිත් ශර්මා වන අතර, ඔහු එක්දින ලකුණු 10,480කට හිමිකම් කියයි.

Leave a Reply

Your email address will not be published.