තමා කාගේවත් කුලී කොන්ත්රාත්කරුවකු නොවන බව ජනපති අපේක්ෂක හිටපු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර සිටියේ පසුගියදා මහරගම ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පැවති හමුවකදීය. මෙම හමුව මහරගම ශ්රීලනිප සංවිධායක සමන් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
2007දී මම කෝප් සභාපති ලෙස කෝටි තිස්දාහක හොරකම් හෙළි කළා. අන්තිමට ඒ හොරු ආණ්ඩුවට ගියා. මම විපක්ෂයට ගියා.
2016දී මම, ජාතික ආරක්ෂාව අනතුරේ මුස්ලිම් අන්තවාදී ප්රහාරයක් එල්ල වෙන්න ඉඩ තිබෙන බව කිව්වා. එහෙම කිව්වාම මට ඒ ආණ්ඩුවේ ඉන්න බැරිවුණා. තවත් මාස 29කට පස්සේ පාස්කු ප්රහාරය එල්ල වුණා. රට – ජාතිය පවාදෙන ගනුදෙනුවල මම කවදාවත් ඉඳලා නැහැ. මම ආණ්ඩුවල ඉඳලා තියෙන්නේ මිනිස්සුන්ට සේවය කරන්නයි. අද අලියා හොයා ගන්න නැහැ. ගෑස් ටැංකිය නම් තියෙනවා. ඇත්තටම මම ජනාධිපතිවරණයට ආවේ කොන්ත්රාත් කරන්න නෙවෙයි. දූෂිත දේශපාලනයට තිත තියන්න තමයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. හොරු, කුහකයන් නැති සන්ධානයක් තමයි අපි.