කැඳවුම්කරුවන් වූ රෝහණ, මනෝ, බණ්ඩාර හා දිද්දෙනිය ආදීන්ගේ චරිත ඝාතනය කළ කැලෑ පත්තරයක් ද අතින් අත බෙදා දුන් බව මතකය.
ශ්‍රී ලාංකීය නාට්‍යවේදීන්ගේ සංගමය 1988 මැතිවරණ සමයේ බිහි වී නාට්‍ය කලාවේ හා නාට්‍යකරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් වැදී ජයගත් ඉතිහාසයෙන් බිඳක් පසුගිය සතියේ මතක තුළ ලියැවිණ. නාට්‍යවේදීන්ගේ සංගමය ක්‍රියාකාරීව සිටිමින් කඩතිර නමින් ප්‍රකාශනයක් ද පළ කළ අතර එහි සංස්කාරකවරයා ලෙස මැනුවෙල් ජයසේකර ක්‍රියා කළේය. නාට්‍යවේදීන්ගේ ක්‍රියාකාරකම්වලට අමතරව ඊට සමගාමීව ශ්‍රී ලාංකික ලේඛක සංවිධානය නමින් ද බිහිවූ සංවිධානයෙහි ක්‍රියාකාරීන් වූයේ ආණ්ඩු විරෝධී හා ජනතා විමුක්ති පෙරමුණට හිතෛෂී මාධ්‍යවේදීන් හා කලාකරුවන් වීම විශේෂයකි. මහාචාර්ය සෝමරත්න බාලසූරිය, සුනිල් ආරියරත්න, සුනිල් මාධව ප්‍රේමතිලක, දයාසේන ගුණසිංහ හා කිවිඳි, මොනිකා රුවන්පතිරණ ආදීන් සමග ඇරැඹුණු ලේඛක සංවිධානය 88 මැතිවරණ හා ජනාධිපතිවරණ ප්‍රතිඵල සමඟ සැඟ වී ගිය බව නොරහසකි. මෙම සංගම් ද්වයෙහි ම රැස්වීම් පැවැත්වුණේ බොරැල්ල PIDA ආයතනයෙහි, කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙහි හා ජුබිලි කණුව ජයමංගලාරාමයෙහි ද බව මතක ය.
ඇතැම් රැස්වීම් ලාල් කුලරත්න නළුවාගේ නිවෙසෙහි ද නුගේගොඩ කලා භූමියෙහි ද පැවැත්විණ. කලා භූමියෙහි පැවැත්වූ රැස්වීමකට පසුකාලයේ ඝාතනය වූ රිචඩ් ද සොයිසා ද සහභාගි වූයේය. 1989 රෝහණ විජේවීර ඝාතනය සමඟ මේ සංගම් ක්‍රියාකාරීත්වය පසුබෑමකට ලක් වූ ස්වභාවයක් පෙන්වීය. තාවකාලික නිද්‍රාවක සිටි කලාකරුවෝ යළිත් දේශපාලන ක්‍රියාකාරීත්වයට එක්ව කරළියට පැමිණියේ 1994 මහ මැතිවරණය හා ජනාධිපතිවරණය සමඟය. මෙවර විශ්වවිද්‍යාල මහාචාර් යවරුන් ද ඇතුළුව සියලු කලා ක්ෂේත්‍ර නියෝජනයක් වූ නිදහස් කලා සන්ධානය බිහිවූයේ 1994 වර්ෂයේ අගභාගයේ දීය. 17 වසරක් රට පාලනය කළ රජයට එරෙහිව දේශපාලන කරළියේ පිබිදීම ඇරැඹුණේ බස්නාහිර පළාතේ මහඇමැතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පත්වීමත් සමඟය.
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ කලාකරුවන් සියලු අංශ නියෝජනය කළා වූ දැවැන්තම සංවිධානය ලෙස නිදහස් කලා සන්ධානය බිහි වූයේ 1994 අගෝස්තුවේ දීය. නිදහස් කලා සන්ධානය වෙනුවෙන් ආරම්භක කැඳවුම්කරුවන් ලෙස කටයුතු කළෝ රෝහණ වීරසිංහ, ජයලත් මනෝරත්න හා බණ්ඩාර ඇහැළියගොඩ ආදීහුය.
මෙම සංවිධානය පිහිටුවීමේ මූලික සාකච්ඡාවක් සඳහා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ එවකට විරුද්ධ පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහභාගි වූ අතර මෙම සංවිධානය සෘජුව පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී නොසිටිය යුතුය යන එකඟතාවට පැමිණ සිටියේ ය. කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වූ මූලික රැස්වීම පැවැත්වුණේ බස්නාහිර පළාත් සභා ප්‍රධාන ඇමැති කාර්යාලයේය.
විපක්ෂය වෙනුවෙන් එම රැස්වීමට සහභාගි වූ පොදු ජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරුන් වූයේ මංගල සමරවීර, මහින්ද රාජපක්ෂ හා එස්.බී. දිසානායක ආදීන්ය. නිදහස් කලා සන්ධානයේ පළමු හමුවීම 1994 අගෝස්තු 12 දා කොල්ලුපිටිය ගුරු ගෙදරදී පැවැත්වුණු අතර එය කඩාකප්පල් කිරීමට එදා පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ කුලී මැරයන් විසින් කළ පහරදීම පසු දින මුද්‍රිත ජන මාධ්‍ය තුළ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් විණ.
කලා සන්ධාන රැස්වීම නිවේදිකාව ලෙස රේණුකා බාලසූරිය සොයුරිය කටයුතු කළ අතර මහාචාර්ය කාලෝ ෆොන්සේකා, රෝහණ වීරසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, ජයලත් මනෝරත්න, ධර්මසිරි බණ්ඩාරනායක, සෝමරත්න දිසානායක ආදීන් රැස්ව සිටි කලාකරුවන් අමතමින් සිටිය දී එක්වර ශාලාවට කඩාවැදුණු මැර පිරිස රැස්වීමේ කටයුතු කඩාකප්පල් කිරීමට මෙන්ම සංවිධායකවරුන්ට තර්ජනය කරමින් ශාරීරික පීඩා කළ අයුරු ද දක්නට ලැබිණ. එපමණක් නොව කැඳවුම්කරුවන් වූ රෝහණ, මනෝ, බණ්ඩාර හා දිද්දෙනිය ආදීන්ගේ චරිත ඝාතනය කළ කැලෑ පත්තරයක් ද අතින් අත බෙදා දුන් බව මතකය. කණ්ඩායමේ සංවිධායක පිරිස සිද්ධිය පිළිබඳ කොල්ලුපිටිය පොලිසියට ගොස් පැමිණිලි කරන අතරවාරයේ මා කළේ කුලී රියක නැඟී ලංකාදීප කාර්යාලය වෙත දිව ගොස් සිද්ධිය පිළිබඳ පුවත මා මිත්‍ර ලංකාදීප කර්තෘ සිරි රණසිංහට පවසා අවශ්‍ය කටයුතු කොට නැවත කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණීමයි. (මේ වකවානුව වන විට ජංගම දුරකතන බහුලව නොතිබිණ) කෙසේ වුවත් සිරි රණසිංහ මිතුරා තම යුතුකම ඉටුකරමින් පසු දින ලංකාදීපයේ මුල් පිටුවෙහි සිදුවීම වාර්තා කොට තිබුණේ කලාකරුවන්ට මැර ප්‍රහාරයක් යනුවෙනි. ලංකාදීපය හැර පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ද සිදුවීම වාර්තා කළ බව මතකය.
නිදහස් කලා සන්ධානය ඇරැඹුමම ජයග්‍රාහී එකක් වී යැයි අපට සිතිණ. කැඳවුම්කරුවන් පමණක් සිටි සන්ධානයට පසුව නිලධාරි මඬුල්ලක් පත් වූ අතර ප්‍රධාන තනතුරු හෙබවූවන් අතර, ධර්මසිරි බණ්ඩාරනායක, රෝහණ වීරසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, ජයලත් මනෝරත්න, කේ.බී. හේරත් ආදීන් විය. නොනිල සමායෝජක (සම්බන්ධීකාරක) ලෙස වගකීම් පැවරුණේ මා හටය.
නිදහස් කලා සන්ධානය අති විශාල හා දැවැන්ත කලාකරු නාමාවලියකින් යුතු විය.
සාහිත්‍යය, සිනමාව, වේදිකාව, ජන මාධ්‍යය, සංගීතය, ගුවන් විදුලිය, විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව, රූපවාහිනිය ඇතුළු සියලු කලා අංශ නියෝජනයක හරස්කඩක් වූ කලා සන්ධානය ශ්‍රී ලංකාවේ දෙවන කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස හා පළමු ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්කිරීමේ යුග මෙහෙවර ඉටු කළේය. නිදහස් කලා සන්ධානයට එදා එක් වූ පිරිස් අතර වූ දැවැන්තයන් කීපදෙනෙකුගේ හෝ නම්ගම් සිහිපත් කරන්නේ දේශපාලන අවශ්‍යතාවක දී රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට ඔවුන් පෙරමුණ ගන්නා බවට නිදසුන් ලෙසය. නාට්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් සුගතපාල ද සිල්වා, කේ.බී. හේරත්, රංජිත් ධර්මකීර්ති, ඩග්ලස් සිරිවර්ධන, රෝහණ දන්දෙනිය, නිශ්ශංක දිද්දෙනිය, ජයශ්‍රී චන්ද්‍රජිත්, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්දිස්, සෝමසිරි අලකොලංග, බුද්ධි වික්‍රම, රවීන්ද්‍ර යසස් කුමානායක, දීපානි සිල්වා, දිලිප් රෝහණ, අජිත් ලොකුගේ, රොජර් සෙනෙවිරත්න ඇතුළු විශාල පිරිසකි. සිනමාව, රූපවාහිනිය හා ජනමාධ්‍යයට සම්බන්ධ පිරිස් අතර තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, ලෙස්ටර් – සුමිත්‍රා, සනත් ගුණතිලක, ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල, සුදත් දේවප්‍රිය, සුදත් රෝහණ, බන්දුල විතානගේ, බුද්ධදාස විතනාරච්චි, අතුල පීරිස්, නිමල් ඒකනායක, රවීන්ද්‍ර ගුරුගේ, ප්‍රසන්න ජයකොඩි, දයා අල්විස්, නාලන් මෙන්දිස්, බන්දුල වීරක්කොඩි, චන්ද්‍රා කළුආරච්චි හා තවත් බොහෝ පිරිසක් ද සංගීත ගුවන් විදුලි ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත වූ නන්දා මාලිනී, නිව්ටන් ගුණසේකර, කරුණාරත්න දිවුල්ගනේ, සේන වීරසේකර, ලක්ෂ්මන් විජේසේකර, දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි, මහානාම වික්‍රමසිංහ, ආනන්ද ගමගේ, රංජිත් බාලසූරිය, චන්ද්‍රානි ගුණවර්ධන, බණ්ඩාර ජයතිලක, එඩ්වඩ් – චරිතා, විශ්වවිද්‍යාල හා සාහිත්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සෝමරත්න බාලසූරිය, ආරියරත්න ඇතුගල, සරත් විජේසූරිය, විශ්වා වර්ණපාල, ගාමිණී හත්තොටුවෙගම, මයිකල් ප්‍රනාන්දු ආදීන්ද, සාහිත්‍ය හා ගීත රචනා ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජනයෙහි ආරියවංශ රණවීර, ස්විනීතා සුබසිංහ, ලාල් හෑගොඩ, කුමාරදාස සපුතන්ත්‍රි, කුලරත්න ආරියවංශ, චන්ද්‍රරත්න බණ්ඩාර, සිසිර විජේතුංග, සුගත් වටගෙදර, කුලසේන ෆොන්සේකා, පරාක්‍රම කොඩිතුවක්කු, කරුණාරත්න සපුතන්ත්‍රි ඇතුළු බොහෝ පිරිස් ද මහමැතිවරණ හා ජනාධිපතිවරණ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධ වූ පිරිස් ය. නිදහස් කලා සන්ධානයෙහි ජන ඇමතුම් පිළිබඳ මතක ඉදිරියේ දී.