ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේදී ඒ සඳහා තමන් ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රේෂණය කළ බවට රේගුවට කරුණු වසන් කිරීම ඇතුළු බැංකු විනිමය පනත යටතේ ගැනෙන චෝදනා 219කට වරදකරු කරනු ලැබූ අවුරුදු 75 හා 68 වියේ පසුවන විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (05දා) රුපියල් විසිඑක් ලක්ෂ අනූදහසක දඩයක් නියම කළේය.
වසර 50කට අධික ව්‍යාපාරික දැනුමක් ඇති විත්තිකාර ව්‍යාපාරිකයන් දෙදෙනා සිදුකර ඇති එකී වරද සුළුකොට තැකිය නොහැකි නමුත් අධිකරණයේ කාලය මිඩංගු නොකර මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම, ඔවුන්ගේ වයස හා පෙර වැරදි නොතිබීම යන කරුණු සලකා සිරදඬුවම් නියම නොකොට එලෙස දඩයක් පමණක් නියම කරන්නේ යැයි පෙන්වා දෙමින් විනිසුරුවරයා එම දඩය නියම කළේය.
විත්තිකරුවන් පෙළෙන විවිධ රෝග තත්ත්වයන් හා ඔවුන් එකී රෝග තත්ත්වයන්ට දීර්ඝ කාලයක සිට අඛණ්ඩව ප්‍රතිකාර ලබන බවට ඉදිරිපත් වූ සියයකට අධික වෛද්‍ය වාර්තා හා රෝග නිශ්චිත වාර්තා කෙරෙහිද එකී දඬුවම් නියම කිරීමේදී තම අධිකරණය සැලකිල්ලට ගත් බවත් විනිසුරු නවරත්න මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව පළමු වන විත්තිකාර ව්‍යාපාරිකයා චෝදනා 49කට වරදකරු කර ඔහුට එක් චෝදනාවකට රුපියල් දසදහස බැගින් දඩයක් එනම් රුපියල් හාරලක්ෂ අනූදහසක දඩයක් ද චෝදනා එකසිය හැත්තෑවකට වරදකරු කළ දෙවන විත්තිකරුට එක් චෝදනාවකට රුපියල් දසදහස බැගින් එනම් රුපියල් දාහත් ලක්ෂයක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියම කළේය. නීතිඥ රුස්ඩ් හබිබ් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර මහාධිකරණ භාෂණ පරිවර්තක ටී.ඩී. තුවාන් සදාම් මහතා ද්‍රවිඩ භාෂාවෙන් විත්තිකරුවන්ට එකී දඩ නියෝගය කියවා දුන්නේය.