රට ගොඩගැනීමට නම් මුල ඉදන්ම නැඟිටින්න වෙනවා

රටට නායකත්වය දුන් පිරිස් ප්‍රතිපත්ති විනාශ කර අවසන් බවත් රට ගොඩනැඟීමට නම් මුල සිටම නැගිටීමට සිදුව තිබෙන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඊයේ (05) පැවති Òවිධිමත් රටක්Ó මැයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති මාලාව ජනගත කිරීමේ සංවාදශීලී හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

Òමම විශ්වාස කරන විදියට අද අපේ රටට ඓතිහාසික දවසක්. අවුරුදු 76ක ගමන්මගේ අපේ ජීවිත කාලයේ වැඩිම දුෂ්කර කාලය ගත කරමින් සිටින මේ වකවානුවේ අපට අනාගතය ගැන අලුත් බලාපොරොත්තුවක් දල්වා ගත හැකි අවස්ථාවක් උදා වී තිබෙනවා. අපි අවුරුදු 450ක් යුරෝපීය ජාතිකයන්ට යටත්ව වහල් රටක් වගේ රටක ජීවත් වෙලා, අපේ පැරණි මුතුන් මිත්තන් ලේ, දහඩිය කඳුළු හලලා එදා 1948 දී මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජන කොටස් එකතු කරගෙන මහා යෝධ පිම්මක් පනින්න සූදානම් වෙන වෙලාවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එයට එකතු කරගෙන අපට නිදහස ලබා දුන්නා. අපට නිදහස ලබා දෙනවිට මේ කලාපයේ තිබුණු දියුණුම රට අපේ රටයි. ආසියාවේ සර්වජන ඡන්ද බලය දිනා ගත් පළමු ජනතාව ජීවත්වන රට අද අපි මැතිවරණයක් පවත්වන වෙලාව වෙනවිට ඉතිහාසයේ පළමුවැනි වතාවට බංකොලොත් රටක මැතිවරණයක් පවත්වනවා.

අද රට බංකොලොත් වගේම දේශපාලන පක්ෂත් බංකොලොත් වෙලා. දේශපාලන නායකයොත් බංකොලොත් වෙලා. ඒ අය විසින්ම ජනතාවත් බංකොලොත් කර තිබෙනවා. හුඟක් අය 76 වසරක ශාපය ගැන දෝෂාරෝපණය කරනවා. අපේ රට කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලය දක්වා එහෙම අපේ රට කාබාසිනියා කරපු නායකයෝ හිටියේ නැහැ. ඒ අය අතින් පොඩි පොඩි වැරදි සිදු වෙන්න පුළුවන්. කවදාවත් මහජන සම්පත් හොරා කාලා, රට අගාධයට ඇදලා දාලා, අද වගේ අපි ඔක්කොම ණයකාරයො කරලා, රට පාලනය කරපු නායකයන් එදා හිටියේ නැහැ. 77 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියත් එක්ක විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක, සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමයත් එක්ක අපේ රටේ තිරිසන් සමාජයක් නිර්මාණය වෙලා අවසන්. ඒ තිරිසන් සමාජයට නායකත්වය දුන් අය අපේ ප්‍රතිපත්ති විනාශ කර ඉවරයි. අපට ආපහු මුල පටන්ම නැඟිටින්න සිදු වී තිබෙනවා. ඒ සඳහා මේ මැතිවරණය ව්‍යවස්ථාවේ තිබුණට ලැබෙන එකක් නොවෙයි. අපි දිනා ගත්ත එකක්, යැයි පැවසීය.

ශ්‍යාමෝපාලී මහා නිකායේ කල්‍යාණි පාර්ශ්වයේ මහෝපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක කොල්ලුපිටිය වාලුකාරාමාධිපති මහරගම නන්ද නාහිමි, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සුධර්මාකාරක සංඝ සභාවේ සංඝ සභික බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හඟරාපිටියේ මෛත්‍රී නායක හිමි ඇතුළු මහා සංඝරත්නය ද, මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති කපිල පෙරේරා, හිටපු පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, හිටපු ඇමැති සචින් ද වාස් ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.