ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතළ වැඩසහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (08) නියම කළේය.
එක් චෝදනාවකට වසර 04 බැගින් විත්තිකරු වරදකරු කෙරුණු චෝදනා දෙකට වසර 08ක අනිවාර්ය බරපතළ වැඩසහිත සිරඳඩුවම් නියම කළ විසුරුවරයා රුපියල් 20,000/-ක දඩයකටද විත්තිකරු යටත් කළේය.
වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව නීතීඥභාවය අත්හිටුවා තිබියදී විත්තිකාර නීතීඥරයා මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ සිරදඬුවම නියම කළේය.
නීතීය දන්නා පුද්ගලයින් කරන අපරාධ හේතූවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන හෙයින් මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයින්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කළේය.
2013 ඔක්තෝම්බර් 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී මියගිය නීතීඥවරයකුගේ නමක් යෙදු ව්‍යාජ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීම, කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණි.


