scam camp ලංකාව තුළ භයානක පැතිරීමක

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම් කඳවුරුවල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.

වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපිට සුවිශේෂ තත්ත්වයක් මෙතෙනදී අත්දකින්නට ලැබුණා. ස්කෑමින් කෑම්ප්. මේවා කෑම්ප් විදිහට සකස්වෙලා තියෙන්නේ. මේක නව ප්‍රවණතාවයක් ශ්‍රී ලංකාවට. 2024 වර්ෂයේදී තමයි මේ කෑම්ප් කියන තත්ත්වය දකින්න ලැබෙන්නේ. මේ කෑම්ප් එකකදී වෙන්නේ මොවුන් වෙනම ස්ථානයක් තෝරාගන්නවා, කාමර පාහසුකම් සහිත ඉඩකඩ සහිත ස්ථානයක් අවශ්‍යයි. මේ අයට එළියට යන්න දෙන්නේ නැහැ. මියන්මාරයේ ශ්‍රී ලංකිකයෝ හිරකරගෙන ඉන්නවා කියන්නේ ඒ තත්ත්වය තමයි මෙහෙත් තියෙන්නේ. ඒ කාර්යයම තමයි.”

අන්තර්ජාලය ඔස්සේ මෙරටදී සිදුකර ජාවාරම් සම්බන්ධයෙන් පොලීසිය විසින් පුද්ගලයින් 300කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අමතරව ජංගම දුරකථන 500කට ආසන්න සංඛ්‍යාවක් සහ පරිගණක 300කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ජාවාරම් සිදුකරන පුද්ගලයින්ට ස්ථාන ලබාදෙන අයට එරෙහිව අපරාධමය චෝදනා එල්ලකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අන්තර්ජාලය ඔස්සේ ජාවාරම්කට හසුවූ පුද්ලයෙකුගේ මුදල් ආපසු ලබාගැනීම ඉතා සුලභ තත්ත්වයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, අපරාධ වෙනස් වන ආකාරයට නීතිරීති ද සකස්කළ ගතයුතු බවය.

“මේ නීතිරීතිවල යම් යම් වෙනකම් සිදුකළ යුතු තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ නීතිරීති කඩිනම්න් වෙනස් කළ යුතු තත්ත්වයක් තියෙනවා. ඒ ගැන අවධානය යොමුකරලා තියෙනවා. පොලීසිය වශයෙන් අදාළ ආයතනවලට යොමුකරලා තියෙනවා වෙනස්වන අපරාධවලට වෙනස්වන ආකරයට නීතිරීති සකස් කර ගැනීමට. එහෙම නැති වුණොත් මෙවැනි අන්තර්ජාලය හරහා තියෙන මේ අපරාධවලට පිළිතුරු හොයා ගැනීමට ටිකක් අමාරුවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම් වීම ඉතා වැදගත් වෙනවා.”

මේ අතර පසුගිය දිනවල ද අන්තර්ජාල ජාවාරම් සම්බන්ධයෙන් මෙරටින් චීන ජාතිකයන් විශාල පිරිසක් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

එවන් පසුබිමක කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කළේ, අන්තර්ජාල ජාවාරම් සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චීනය සමීප අවධානයෙන් පසුවන බවය.

එම සිද්ධීන් දෙරටේ ජනතාවගේ දේපොළවලට පමණක් නොව චීනයේ ප්‍රතිරූපයට සහ දෙරට අතර සාම්ප්‍රදායික මිතුදමට බරපතළ හානියක් සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන්ය.

අදාළ සැකකරුන් නියත වශයෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ අයතන වෙත පූර්ණ සහාය දක්වන බව එම තානාපති කාර්යාලය පැවසීය.

එහිදී අදාළ සැකකරුවන්ගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා වියයුතු බව ද එමගින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ යටිතල පහසුකම් සහ භූ දේශපාලනික පිහිටීම මෙන්ම චීනය සමග පවතින මිතුරු සබඳතා වාසියට යොදාගනිමින් ඇතැම් ඉලෙක්ට්‍රොනික අපරාධකරුවන් සහ කල්ලි ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

මෙම ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමුකරමින් ශ්‍රී ලංකාව සහ චීනය අතර ඔන්ලයින් වංචා වැළෑක්වීම සඳහා නීතිය බලගැන්වීමේ සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට චීන රජය කටයුතු කරමින් සිටින බව චීන තානාපති කාර්යාලය පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතිකයන් පිටුවහල් කිරීමේ සහ අනෙකුත් ක්‍රියාකාරකම් කඩිනමින් සිදුවන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මීට අදාළ සමීපතම සිදුවීම ඊයේ (15) හලාවත, ඉරණවිල මාර්ගයේදී වාර්තා වුණි.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් පිරිසක් එහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, අත්අඩංගුවට ගත් එම විදේශිකයින් අතරට මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04ක්, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවක්, කෙන්යානු ජාතික කාන්තාවක් හා චීන ජාතික පිරිමි පුද්ගලයෙක් සිටි බවය.

අදාළ පිරිස අන්තර්ජාලය ඔස්සේ, මුදල් වංචා සිදුකරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 20ක්, රවුටර් 03ක් සහ ජංගම දුරකථන 282ක් පොලිස් භාරයට ගෙන ඇත.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.