ලොහාන්ගේ බිරිඳගේ නිවසකින් අංක තහඩු නැති සැප රියක් අල්ලයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් බව කියන මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගි මෝටර් රථයක් මිරිහාන පොලිසිය මගින් පෙරේදා (26දා) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති 1997 අංකයට ලැබුණු තොරතුරක් මත මෙම වාහනය සොයාගෙන ඇත. හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසේ කිසිවකුත් පදිංචි නොමැති බවත් අදාළ රථය නිවසේ ගරාජයේ නවතා තිබියදී සොයාගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මිරිහාන පොලිසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නිවසට ගොස් වාහනය අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී මෙම රථය මීට ටික දිනකට පෙර වෙඩි වැදීමකින් මියගිය බව කියන සිය ලේකම්වරයා විසින් නිවසට ගෙනැවිත් දැමූ බව ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළ බව ද එම නිලධාරියා කීය. රත්වත්ත මහතාගේ බිරිඳගෙන් ඊයේ (27දා) වන තෙක් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බව ද ඔහු කීය.

අද (28දා) රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර මෙම වාහනය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

Leave a Reply

Your email address will not be published.