විදුලි සර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන වග නම්

ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝ දන්තු 1 පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක් වශයෙන් විනා අහඹුවක් ලෙස නොවේ. මෙරට වනගත හස්ති ගහනයේ විශාල දළ සහිත ඇතුන් වැඩි වශයෙන් හමුවූ ප්‍රදේශය වන්නේ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිත වනාන්තර කලාපයයි. එහි දිවි ගෙවන බවට වාර්තාවී ඇති එවැනි විශාලතම දළ යුගල හිමි අවසන් හස්තියා ලෙස නම් දරා සිටියේ මෙම දීඝ ය. එම වටිනා සම්පත දැන් අප රටට අහිමිවී අවසන්ය. නමුත් මෙසේ විදුලි සර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන පණිවුඩය අප මේ මොහොතේවත් තේරුම් ගැනීමට උත්සාහ කළහොත් එය අනාගතයේදී හෝ දීඝ ගේ පරම්පරාවට යහපත පිණිස වනු ඇත.

කලාවැව ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර කලා-බළලු වැව් ආශ්‍රිත වනාන්තර කලාපය සංරක්ෂණය කිරීමට හේතු වූයේ බරන, රේවත, වළගම්බා සහ දීඝ වැනි විශාල දළ සහිත ඇතුන් මෙම ප්‍රදේශයේ සුලභ වීමය. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත අලි ගහනයේ දළ සහිත සතුන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් මෙම කලාපයේ දළ ඇතුන් වාර්තා වේ. නමුත් ජාතික උද්‍යානය බෝඩ් ලෑලිවලට පමණක් සීමා කරමින් මෙම අලි ඇතුන් සමූහය ඉතා පටු බිම් තීරුවකට කොටු කෙරුණේ ජල විදුලි බල ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට වසර පුරාම මෙම කලාවැව පුරවා තබාගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය මගින් කලාවැවට ජලය ලැබීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරුණි. එමගින් වසරේ එක් කාල සීමාවකදී නිරාවරණය වන වැව් පිටියේ මතුවන තෘණ මගින් කුස පුරවා ගැනීමට ඔවුන්ට තිබූ ඉඩ ඇහිරී ගියේය. තවද ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තියද, හීලෑ ගව රංචු උද්‍යානයට ඇතුළු කිරීමද අලි ඇතුන් දරුණු ආහාර හිඟයකට මුහුණ දීමට හේතු වී තිබේ. එබැවින් දීඝ ලාට ගම් වැදී තමන්ගේ සාගිනි නිවා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයට පත් කළේය. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සිදුකරන ඊනියා පරිසර බලපෑම් තක්සේරුවලදී මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලය දීඝලා මෙසේ අකාලයේ අවසන් ගමන් යෑමය.

Leave a Reply

Your email address will not be published.