හාලිඇල උනුගොල්ල බංගලාවක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අල්ලාගෙන ඇති බවත් ඔහුව ඉන් වහාම ඉවත් කරන ලෙසට උනුගල්ල වතු පාලනාධිකාරියට දැනුම්දුන් බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යා සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේ අද (10) පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
වඩිවේල් සුරේෂ් මහතාව ඉවත් නොකර අසාධාරණ ලෙස කටයුතු කළහොත් වතු සමාගම සමග ඇති ගිවිසුම් අවලංගු කරන බවට ද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අනතුරු ඇඟවීය.
පසුගිය කාලයේ දික්වැල්ල වත්තේ බංගලාවක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා අවුරුදු 13ක් බලහත්කාරයෙන් පදිංචිව සිටි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් බෙදාදීම වහාම ක්‍රියාත්මක වනපරිදි තාවකාලිකව අත්හිටුවීමට ද මෙහිදී තීරණය කෙරුණි.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පැවැත්වූ දිවයිනේ ප්‍රථම දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීමද මෙය වෙයි.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ, දියතලාව පොලිස් කන්ද ප්‍රදේශයේ ඉඩම් ලබාදීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඒවා දේශපාලන ලැයිස්තුවලට ලබාදුන් බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා,
“සමන්ත විද්‍යාරත්න මහතා දේශපාලනඥයින් දෙදෙනෙක් ගැන කිව්ව කතාව හරියටම හරි. අනිත් නමුත් කියන්න.. මම හැමදාමත් මේ නිලධාරියාට කිව්වා මෙහෙම කරන්න එපා කියලා. මාරු කරලත් යැව්වා. ඒත් ආයෙත් ආවා. මම දන්නවා කවුද ගත්තේ කියලා. මාත් එක්ක තරහ වෙන්න එපා. හෝටල් හදන්න පුළුවන් ඒ ගොල්ලන්ගේ සල්ලිවලට ඉඩම් අරගෙන. ගෝවුස්ස ග්‍රාම නිලධාරී වසමේ ගම්මානවල මිනිස්සු ඇත අතීතයේ සිට මේ ගම්මානවල ජීවත්වන මිනිස්සු. ඒ මිනිස්සුන්ව නඩුදාල ඉවත් කරන්න යනවා… ඒක අසාධාරණයි. ඇල්ලේ කන්දෙකුඹුරට පිටින් ඇවිල්ලා ඉඩම් අල්ලාගෙන හෝටල් ගහනවා.”
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,
“අපට පේනවා ඉතා අසාධාරණ ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණය කොමිසම විසින් දේශපාලනඥයින්ට හා ඔවුන්ගේ උවමනාවන්ට අනුව කටයුතු කරපු බව. ඒ නිසා විශාල අසාධාරණයක් සිදුවෙලා තියෙනවා. මේ නිසා LRC ඉඩම් බෙදාදීම වහාම අත්හිටුවීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව විසින් තීරණය කරනවා. ඒවාගේම සිදුවූ අසාධාරණයක් පිළිබඳව විමර්ශනයක් ද සිදුකරනවා.”
නායයෑම් හේතුවෙන් අවතැන් වී සිටින වතුකරයේ ජනතාව සඳහා නිවාස ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 28 බැගින් ලබාදීමට තීරණය කළ බවත් ඉන්දියානු අධාර යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මෙතෙක් නොවූ අයුරින් සියලුම වගකිවයුතු නිලධාරින් මෙම රැස්වීමට කැඳවා තිබූ බවත් ඔවුන් සියලුදෙනාම ඊට සහභාගී වී සිටි බවත් වාර්තා වෙයි.
ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සංචාරක නියෝජ්‍ය ඇමති මහාචාර්ය රුවන් රණසිංහ සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන ඇතුළු පිරිසක් ද සහභාගීවී තිබුණි.